ඩොනල්ඩ් ට්‍රම්ප් අමේරිකාවේ 47වන ජනපති ලෙස දිවුරුම් දෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අමේරිකාවේ 47වන ජනපති ලෙස දිවුරුම් දෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දී තිබෙනවා.

නිල වශයෙන් ජනාධිපති ධුරයට නැවත පත්වීමෙන් පසු ඔහු අද ධවල මන්දිරයට පැමිණීමට නියමිතයි.

ඔහුගේ පදවි ප්‍රාප්තිය විධිමත් දිවුරුම් දීමේ උත්සවයක් සහ සංගීත සංදර්ශනයකින් සමන්විත වනවා.

මෙම වසරේ උෂ්ණත්වය අධිකව පහත වැටීම හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය ගෘහස්ථව සිදුකිරීම ද විශේෂත්වයක්.

ජනපති ට්‍රම්ප් සහ උප ජනාධිපති ධුරයට තේරී පත් වූ ජේ.ඩී. වැන්ස් දිවුරුම් දීම අමෙරිකා එක්සත් ජනපද කැපිටල් රොටුන්ඩා ගොඩනැගිල්ලේදී සිදු කෙරුණා.

එක් ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවසන් කිරීම සහ අනුප්‍රාප්තිකයාගේ පරිපාලනයේ ආරම්භය සනිටුහන් කරන මෙය රජයේ නායකයින් අතර බල සංක්‍රාන්තියේ වඩාත්ම ඉහළ මට්ටමේ උත්සවයක්.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය විශ්වාසවන්තව ක්‍රියාත්මක කරන බවත්, තම උපරිමයෙන් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් දිවුරුම් ලබාදෙමින් ජනපති ට්‍රම්ප් දෙවන වරටත් එහිදී ධූරයේ වැඩ භාර ගත්තා.

පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඔහු මීට පෙර 2017 සහ 2021 අතර 45 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

මෙම දිවුරුම් ලබාදීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් බයිබල දෙකක් භාවිත කරනු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් එකක්1955 දී ඔහුගේ මව විසින් ඔහුට ලබා දුන් පුද්ගලික බයිබලයක් සහ 1861 දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයේදී භාවිතා කරන ලද වෙල්වට් බැඳ ඇති වෙළුමක් වන ඓතිහාසික ලින්කන් බයිබලයයි.

ට්‍රම්ප් ගේ උප ජනපති වැන්ස් ද ඔහුගේ මවගේ මී ආච්චිට අයත් පවුලේ පිටපතක් වන පෞද්ගලික බයිබලයක් මත ද දිවුරුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාරම්භක දේශනය පවත්වන අතර එහිදී ජනාධිපතිවරයා ඉදිරි වසර හතර සඳහා ඔහුගේ ඉලක්ක ප්‍රකාශ කිරීමට නියමිතයි.

ඔහුගේ ප්‍රකාශ ‘එක්සත්කම’, ‘ශක්තිය’ සහ ‘සාධාරණත්වය’ මත තේමාවන බව සඳහන්.

ඉන් අනතුරුව සෙනෙට් සභා ගර්භය අසළ ජනාධිපතිවරයාගේ කාර්යාලයට ගොස් ප්‍රධාන ලියකියවිලි අත්සන් කරනු ඇති.

ජනපති ට්‍රම්ප් ඒකාබද්ධ කොංග්‍රස් කමිටුව විසින් පවත්වනු ලබන දිවා භෝජන සංග්‍රහයකට එක්වීමෙන් පසුව සමාරම්භක උත්සව තුනක ප්‍රධාන දේශන පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This