බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට, ව්‍යාපෘති ණය පහසුකම් දෙකක් ලබා ගැනීමට සාකච්ඡා

බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට, ව්‍යාපෘති ණය පහසුකම් දෙකක් ලබා ගැනීමට සාකච්ඡා

බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය‚ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර තිබෙනවා.

බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සහ බලශක්ති ක්‍රියාකාරකම් ආධාරක පහසුකම (සුළු වියදම් මූල්‍යනය පහසුකම) ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය පහසුකම් ලබාගැනීමට නියමිතයි.

එලෙස ලබාගැනීමට සැළසුම් කර ඇත්තේ, ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 230ක වටිනාකමකින් යුතු ණය පහසුකම් දෙකක්.

ඒ අනුව එම ණය පහසුකම් දෙකෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ඇ. එ. ජ. ඩොලර් මිලියන 200ක ණය මුදලක් බලශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය යටතේ බලශක්ති සැපයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා ලබාගැනීමට සැළසුම් කර තිබෙනවා.

එමගින් ප්‍රධාන වශයෙන් පුනර්ජනනීය ඒකාබද්ධතාවයට පහසුකම් සැලසීම සඳහා දේශගුණයට ඔරොත්තු දෙන සම්ප්‍රේෂණ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම මෙන්ම වැඩිදියුණු කළ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම සහ ජාල කළමනාකරණ හැකියාවන් ඇතුළු බලශක්ති උපයෝගිතාවල ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම පිළිබදව අවධානය යොමු කරනු ලබනවා.

තවද, සහනදායී පොදු ප්‍රාග්ධන සම්පත් යටතේ ඇ. එ. ජ. ඩොලර් මිලියන 15 බැගින් වූ වාරික දෙකකින් යුතුව ලබා ගනු ලබන ඇ. එ. ජ. ඩොලර් මිලියන 30 ක ණය මුදලේ පළමු වාරිකය මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සහ පසු ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ලබා ගැනීමට නියමිතයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සම්පූර්ණ කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වාරිකය පසුව ලබා ගැනීමට නියමිතව ඇති බව සඳහන්.

මෙම ණය පහසුකම් සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වෙන් වෙන්ව භාණ්ඩාගාර ඇපකර දෙකක් නිකුත් කරනු ලබයි.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම‚ විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම හා පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතියේ විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායත ලෙස ක්‍රියාකරනු ලබන අතර, බලශක්ති ක්‍රියාකාරකම් ආධාරක පහසුකමට (සුළු වියදම් මුල්‍යනය පහසුකම) අදාල විධායක සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකරනු ඇති.

මෙම ණය පහසුකම්වලට අදාළව ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වෙන් වෙන් වශයෙන් ඇපකර ගිවිසුම් දෙකක් සදහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද‚ ආසියානු සංවර්ධන බැංකුවේ‍ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ‚ ටකාෆුමි කඩෝනො මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ද‚ කොළඹ මහා භාණ්ඩාගාරයේදී ඊයේ (19) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එක් එක් ණය ගිවිසුම් සදහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි (පුද්ගලික) සමාගම ද ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් තබා ඇති බව වැඩිදුරටත් සඳහන්.

Share This