කොළොන්නවේ ගංවතුර පාලනය කරන්න අදත් සාකච්ඡාවක්

කොළොන්නවේ ගංවතුර පාලනය කරන්න අදත් සාකච්ඡාවක්

කොළොන්නව ප්‍රදේශයේ ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී නුදුරේදී ඇතිවිය හැකි වැසි ජල ගංවතුර ආපදා තත්ත්වය සඳහා මුහුණදීම වෙනුවෙන් ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

ඒ අනුව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් ව්‍යාපෘති 20ක් හා කොළොන්නව නගර සභාව විසින් ඇල මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරීම, මාර්ග පිළිසකර කිරීම ඇතුළත්ව ව්‍යාපෘති 6ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

ඒ අනුව සිංහපුර ශ්‍රී ආනන්ද රාම් පාරේ ඇළ මාර්ගය, රජ්ජුපිටිය ඇළ මාර්ගය හා සම්බන්ධ වන ඇළ මාර්ගය , වදුල්ලවත්ව ප්‍රධාන ඇල මාර්ගය, වෙල්ලම්පිටිය සුපිරි වෙළඳසැල ඉදිරිපිට ඇති කාණු පද්ධතිය, මෙගොඩ කොලොන්නාව පාරේ සිට ආරම්භ වන ප්‍රධාන ඇළ මාර්ගය, කොටුවිල ගාමිණී විද්‍යාලය පිටුපස කාණු පද්ධතිය පිරිසිදු කිරීම ද මෙම ව්‍යාපෘතිවලට අයත් වේ.

මේ වන විටත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ගංවතුර අවදානම ඇති ප්‍රදේශවල ක්ෂේත්‍ර නිරීක්ෂණ සිදු කර ඇති බවත්, ගංවතුර සඳහා පූර්ව සූදානම් වීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව කොළඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා සඳහන් කළේය.

එමෙන්ම ගංවතුර ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම වෙනුවෙන් ද අවශ්‍ය පියවර සැලසුම් කරමින් පවතින බව මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයකදී අවහිර වන පාලම් හා බෝක්කු පවතින අතර එම ආවහිරතාවලට හේතුවන භාවිතයට නොගන්නා ජලනල ප්‍රමුඛතා අනුපිළිවල අනුව ඉවත් කිරීමට අවශ්‍යය පියවර ගැනීම හා ඇළ මාර්ග අවහිරවීමට හේතුවන පාලම් ආශ්‍රිතව පැරැණි ඉදිකිරීම් කොටස් සියල්ල කඩිනමින් ඉවත් කිරීම සිදු කිරීමට නියමිතය.

ග්‍රාමීය ආපදා කමිටු සංයුතිය තාවකාලිකව හෝ වෙනස් කරමින් ප්‍රජාදායකත්වය ද සහිතව ආපදා කළමනාකරණ කටයුතු සිදු කළ යුතු බව කොලොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය. එමෙන්ම ආපදා කළමනාකරණ කමිටු සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම දෙනාට සම්බන්ධ විය හැකි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Share This