තෙලන්ගනා ඖෂධ කම්හලේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට

තෙලන්ගනා ඖෂධ කම්හලේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 34 දක්වා ඉහළට

තෙලන්ගනා ප්‍රාන්තයේ පෂමයිලාරම් කාර්මික කලාපයේ පිහිටි ඖෂධ කම්හලක සිදුවූ හදිසි පිපිරීමක් සහ ගින්නක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මෙම අනතුර සිදුව තිබුණේ ජුනි 30වැනි දින උදෑසන 8.15ත් 9.35ත් අතර බව බලධාරීහු තහවුරු කරති.

මෙහිදී මළ සිරුරු 31ක් පමණ පමණ සුන්බුන් අතර තිබී සොයාගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුද රෝහලේදී මියගොස් තිබේ. පිපිරීමත් සමග ගින්න හටගන්නා අවස්ථාවේදී එම ගොඩනැගිල්ලේ 60කට අධික සේවකයන් සංඛ්‍යාවක් සිට ඇත.

පිපිරීමට හේතුව ලෙස සැලකෙන්නේ කම්හලේ රසායනික ප්‍රතික්‍රියාකාරකයක සිදුවූ අධික පීඩනයක් සහ රසායනික ප්‍රතික්‍රියාවක් බවයි. එමගින් ඇතිවූ ගින්න කම්හලේ සම්පූර්ණ ගොඩනැගිල්ල විනාශ කර ඇත.

මේවන විට ජාතික හා පළාත් ආපදා ප්‍රතිචාර බලකායන්, ගිනි නිවීමේ ඒකක සහ පොලිසිය එක්ව බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කරමින් මියගිය අයගේ පවුල්වලට ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකක ආධාරයක් ප්‍රකාශ කර තිබේ. තෙලන්ගනා ප්‍රාන්ත ආණ්ඩුව මියගිය අයගේ පවුල්වලට ඉන්දියානු රුපියල් කෝටියක් සහ තුවාල ලැබූ අයට රුපියල් ලක්ෂ 5-10 අතර වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

අනතුරට ලක්වුණු Sigachi Industries නම් ඖෂධ කම්හල ඖෂධ සං‍යෝග, විටමින්, ඛනිජ මිශ්‍රණ සඳහා විශේෂිත කම්හලකි. එය ඉන්දියාව, ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයන්හි ශාඛා රැසක් පවත්වාගෙන යයි.

සඳුනි තිලකරත්න

Share This