ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය ජනවාරි 17-18
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කරන ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය ජනවාරි 17-18 දෙදින පුරා ත්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.
12වන වරට සංවිධානවන ඒ වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගුවන් හමුදා මූලස්ථානයේදී පැවත්වුණා.
ගුවන් හමුදා ක්‍රීඩා දින දර්ශනයේ ප්‍රථම තරගාවලිය ලෙස මෙය පැවැත්වෙන බවයි ගුවන් හමුදාපතිවරයා එහිදී සඳහන් කර සිටියේ.
මේ සඳහා දැනටමත් දේශීය සහ විදේශීය තරගකරුවන් 100කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, පිරිමි, කාන්තා, දේශීය සහ විදේශ ආකාරයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමේ බලාපොරොත්තුවෙන්, ගොල්ෆ් ක්‍රීඩාව ජනතාව අතර ප්‍රචලිත කිරීමට ගුවන් හමුදාව කටයුතු කර ඇති බව ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කළා.
මෙම තරගාවලිය තවදුරටත් ගොල්ෆ් ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමටත්, මෙම ක්‍රීඩාවට ප්‍රිය විදේශිකයන් මෙරටට ආකාර්ෂණය කර ගැනීමටත් හේතුවන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමට ගෙනයාමට ගුවන් හමුදාව නිරන්තරයෙන් කටයුතු කර ඇති බවත්, ජාතික ගොල්ෆ් කණ්ඩායමේ පවා ගුවන් හමුදා සාමාජිකයින් සිටීම ඊට හොඳම උදාහරණයක් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
2012 වසරේ ආරම්භ කළ මෙම ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියට පසුගිය වසරේදී දේශීය සහ විදේශීය තරගකරුවන් 108 දෙනෙක් සහභාගී වී ඇති අතර, මේ වසරේදී තරගකරුවන් 140 ක් පමණ අපේක්ෂා කරන බවයි මාධ්‍ය හමුවට එක්වූ ගුවන් හමුදා නිලධාරීන් සඳහන් කළේ.