ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් සියලු කිලිටි වැඩ අතුගා දමනවා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් සියලු කිලිටි වැඩ අතුගා දමනවා

සීමිත පිරිසක් කරන ඇතැම් ක්‍රියා හේතුවෙන් සමස්ත දුම්රිය සේවයේම කීර්ති නාමයට හානි සිදු වනන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය  කේ. කපිල සී.කේ. පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (07) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති “Clean Sri Lanka”  සමාරම්භක  උත්සව අවස්ථාවට සහභාගී වෙමින්.

නව ව්‍යාපෘතිය තුළින් මෙම කිලිටි වැඩ සියල්ල සහමුලින් අතුගා දැමිය යුතු බව ද ඔහු කියාසිටියා.

ඒ වෙනුවෙන් සියලු දෙනාම එක්සිත්ව, වැඩ පවරණතෙක් බලා නොසිට ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මකවී, කාර්යක්ෂම දුම්රිය සේවයක්, ප්‍රියමනාප දුම්රිය ස්ථානයක් බිහි කිරීමේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කළ යුතුයි.

නව ආණ්ඩුවේ  සංකල්පයකට අනුව  යමින්,  සමස්ත දිවයිනම ආවරණයවන පරිද්දෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව, දුම්රිය ස්ථාන වෙත එම ව්‍යාපෘතිය ගෙනයාමේ මූලික පියවර කොටුව දුම්රිය ස්ථානයෙන් අද (07) ආරම්භ කෙරුණා.

මෙහිදී කොටුව දුම්රිය ස්ථානය තුළ සහ ඒ අවට පිරිසිදු කිරීම, තීන්ත ආලේප කිරීම මෙන්ම ක්‍රමානුකූලව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයන් ද සකසන ලද බව සඳහන්.

තව ද බොහෝ කලකින් ප්‍රතිසංකරණය නොවූ  කොටටුව දුම්රිය ස්ථානයේ මගී විවේකාගාරයන්ගේ  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම ද මේ යටතේ ආරම්භ වී තිබෙනවා.

තවත් සුවිශේෂී කටයුත්තක් වූයේ, බැස්ටියන් මාවත මගී ප්‍රවාහන පිවිසුම, ලේකම්වරයාගේ සුරතින් මගී අයිතියට පත්කිරීමයි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් දුමිරිය සාමාන්‍යාධිකාරි  ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා  පැවසුවේ, දුම්රියක් සිය ගමනාරම්භයේදී ඉතාමත් සෙමින් ධාවනය කරන බවයි.

කෙමෙන් ඉදිරියට ඇදී යාමේදී යම් ජවයක් ලබාගනිමින් වඩා වේගවත් ගමනකට මුලපුරණ බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ අයුරින් අපත් ජවසම්පන්නවී, දුම්රිය මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම මෙන්ම ප්‍රශංසනීය සේවාවක් සැපයීමට උත්සුක විය යුතු බවයි ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා   වැඩිදුරටත් සඳහන් කළේ.

Share This