ටිබෙටයේ භූමිකම්පාවෙන් ජීවිත රැසක් අහිමි වෙයි

ටිබෙටයේ භූමිකම්පාවෙන් ජීවිත රැසක් අහිමි වෙයි

අද (07) අළුයම චීනයේ කඳුකර ටිබෙට් ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු පමණ මියගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් 62 දෙනෙකු තුවාල ලබා ඇති බවත් නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත් සඳහන්.

කෙසේ නමුත් තවමත් සංඛ්‍යා සත්‍යාපනය කරමින් පවතින බැවින් මෙම සංඛ්‍යා වෙනස් විය හැකි බවයි, ටිබෙටයේ භූමිකම්පා කාර්යාංශය විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ.

ටිබෙටයේ ශුද්ධ වූ ෂිගාට්සේ (Shigatse) නගරයට බලපෑ භූමිකම්පාව රිච්ටර් පරිමාණයේ 7.1 ක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් යුක්ත වූ එකක් බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත මඟින් තහවුරු කර තිබුණේ.

එමෙන්ම එය පසු කම්පන මාලාවකින් ද යුක්ත වූ බව සඳහන්.

වාර්තා වූ භූකම්පන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් සඳහන් කර තිබුණේ අනතුරු අවම කර ගැනීමට සහ විපතට පත් වැසියන් නැවත පදිංචි කිරීමට සියලු උත්සාහයන් දරන ලෙස අදාළ අංශ දැනුවත් කර ඇති බවයි.

මෙහි බලපෑම අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී තිබුණු නමුත් නේපාල‍යෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.

ඉන්දියානු සහ යුරේසියානු භූ තැටිවල ප්‍රධාන දෝෂ රේඛාවක් අසල පිහිටා ඇති කලාපය තුළ භූමිකම්පා බහුලය.

2015 වසරේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ ඇති වූ රිච්ටර් මාපක 7.8 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 9,000 කට ආසන්න පිරිසක් මිය ගිය අතර 20,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.

Share This