පන්දුව අතට ගත් හේතුව චරිත් අසලංක හෙළි කරයි

පන්දුව අතට ගත් හේතුව චරිත් අසලංක හෙළි කරයි

නවසීලන්තයට සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හොඳින් ක්‍රීඩා කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක  පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, දෙරට අතර පැවැති තෙවන විස්සයි විස්ස ජයගැනීමෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

විස්සයි විස්ස තරගාවලිය පුරා හොඳින් ක්‍රීඩා කළ ද පළමු තරග දෙක ජයගැනීමට නොහැකි වුණා.

කෙසේ වෙතත් අවසන් තරගය ජයගැනීම සතුටට කරුණක් බවයි, චරිත් අසලංක ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ පන්දුයැවී‌මේ නිතර වුණ ද, මෙවැනි විදේශ තණතීරුවක පන්දු යවා තිබු‌ණේ නැහැ.

කෙසේ වෙතත් පන්දු යවන්නෙකුගේ අඩුවක් පැවැතීම හේතුවෙන් මෙම තරගයේදී තමන් පන්දු යැවීමට තීරණය කළ බවයි, චරිත් අසංලක කියාසිටියේ.

විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායමට සහ වසර 13කට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතකයක් රැස්කරගත් කුසල් ජනිත් පෙරේරාට ඔහු සිය සුබ පැතුම් එක් කළා.

නවසීලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 218ක්.

එහිදී කුසල් පෙරේරා ලකුණු 101ක් ලබාගැනීමටයි සමත් වුණේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් රචීන් රවින්ද්‍ර ලකුණු 69ක් ලබාගත්තා.

පන්දුයැවීමේදී චරිත් අසලංක කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගත්තා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 05 වැනිදා වෙලිංටන්හිදී ආරම්භ වනු ඇති.

Share This