තේ එක බිව්වාම කෝප්පෙ සෝදන්න අමතක වෙනවද ? – එහෙනම් තේ එක බීලා කෝප්පෙ කමු !

තේ එක බිව්වාම කෝප්පෙ සෝදන්න අමතක වෙනවද ? – එහෙනම් තේ එක බීලා කෝප්පෙ කමු !

තේ හෝ කෝපි බීලා ඉවර වුණාම පැය ගණන්, දවස් ගණන්, සමහරවිට සතියක් විතර සෝදන්න අමතක වුණු කෝප්ප ගැන සෝචනීය කතාවක් අපි බහුතරයකට තියෙනවනෙ.

ගොඩක් වෙලාවට මේක තනිකරම කම්මැලිකම මත ”හිතලා මඟාරින” වැඩක්.

හැබැයි අමතක වන අවස්ථාත් නැතුවාම නොවෙයි.

ඒකට සෘජු විසඳුමක් නොවුණත් වක්‍රාකාරව ඊටත් සම්බන්ධ, නමුත් ප්ලාස්ටික් අර්බුදයට තිත තියන්න සෘජුවම ක්‍රියාත්මක කළ හැකි කාරණාවක් ගැනයි මේ සටහන.

මේ ‘බිස්කට් කෝප්ප’ ගැන කතාවක්.

ලංකාවට ටිකක් විතර අළුත් අත්දැකීමක් වුණත්, මෙතන තියෙන්නෙත් අර අපි දන්න සරල අයිස්ක්‍රීම් කතාවම තමයි.

අයිස්ක්‍රීම් ටික කාලා බිස්කට් අයිස් කෝන් එක කෑම අපිට මැජික් එකක් නෙවෙයිනෙ.

එහිම වැඩි දියුණු කළ මිශ්‍රණයකිනි මේ බිස්කට් තේ කෝප්ප, කෝපි කෝප්ප සැකසිලා තියෙන්නෙත්.

එහෙම නැතුවත් බෑනෙ නේද…. මොකද තේ එකක්, කෝපි එකක්, කිරි එකක් බොන්න නම් මේ කෝප්පයේ ආයු කාලය ටිකක් වැඩි වෙන්නම ඕනිනෙ.

විදෙස් රටවල අවන්හල් ආශ්‍රිතව මෙම කෝප්ප විශේෂය භාවිතයට ගැනෙන්නේ ‘පරිසර හිතකාමී’ නිමැවුමක් හැටියට.

ඒවාගේත් ඇතැම් අවන්හල් අඩක් පමණක් ආහාරයට ගත හැකි ලෙසත් තවත් පිරිසක් සම්පූර්ණයෙන්ම කෝප්පය ආහාරයට ගත හැකි ලෙසත් නිර්මාණය කරලා තියෙනවා.

රසයත් තම තමන්ට ආවේණික ලෙස තෝරාගත හැකියි.

තේ එක හදලා මේසෙට අරන් ආවාම පැය ගාණක් නිවෙනකල් ඉඳලා බොන්න පටන් ගන්න අයට නම් මේක ප්‍රායෝගික නොවේවි.

ඒ වගේම තමයි ඉඳලා හිටලා තේ එක බීලා කෝප්පෙ කෑවට, බිස්කට් කෝප්ප භාවිතයට ගන්න ඉස්සර සෞඛ්‍ය ගැනත් අනිවාර්‍යයෙන්ම හිතන්න වෙයි !

වැදගත්ම කාරණය තමයි මේ කෝප්ප සාදන බිස්කට් මිශ්‍රණය.

ලෝක ප්‍රකට Zero Green හි භාවිත බිස්කට් කෝප්පය සම්පූර්ණයෙන්ම ආහාරයට ගත හැකි වන ලෙස සැකසූවක්.

ඒ වගේම එහි විනාඩි 40ක කාලයක් උණුසුම් බීමක් තබාගත හැකි බව සඳහන්.

කෝප්පය සමඟ ලැබෙන කඩදාසි පිට වැස්ම ද පරිසර හිතකාමී ලෙස නිමවා ඇති බවත් සඳහන්.

මෙම සංකල්පයට අනුව සැකසෙන බොහෝ කෝප්ප තිරිඟු සහ බාර්ලිවලින් සැදුම්ලත් වනවා. ඔවුන් එමඟින් පෝෂ්‍යදායී බවත් ආරක්ෂා කරගෙන.

දිනෙන් දින පරිසරයට එක්කාසු වන ප්ලාස්ටික්වලට එරෙහිව මේක කදිම විසඳුමක්.

නිකමට හිතලා බලන්නකො දිග ට්‍රිප් එකක් එහෙම යනකොට මේ වගේ විකල්පයක ඇති වටිනාකම ගැන.

කදිම ශුන්‍ය අපද්‍රව්‍ය විකල්පයක් !

ඉතින්, මේ රසවත් බිස්කට් කෝප්ප එක්ක ලෝකයේ බොහෝ රටවල් පාරිභෝගික පුරුදු වෙනස් කිරීමේ අභියෝගාත්මක මෙහෙවරක නියැලෙමින් ඉන්නවා.

Share This