බෙංගාල ව්‍යාඝ්‍රයෙකු ඇතුළු බළල් පවුලේ ජීවිත රැසක් උදුරාගත් කුරුළු උණ

බෙංගාල ව්‍යාඝ්‍රයෙකු ඇතුළු බළල් පවුලේ ජීවිත රැසක් උදුරාගත් කුරුළු උණ

ගෙවුණු සති කිහිපය තුළ (නොවැම්බර් අග සිට දෙසැම්බර් මැද දක්වා) බෙංගාල ව්‍යාඝ්‍රයෙකු, කූගර් හතර දෙනෙකු සහ විශාල බළලුන් විස්සක් කුරුළු උණ (HPAI) රෝගයෙන් මිය ගොස් ඇති බව වොෂින්ටන් හි සත්ත්ව අභයභූමියකින් වාර්තා වනවා.

මේ වන විට ඔවුනට ඉතිරිව ඇත්තේ බළලුන් 17 ක් පමණක් බවත් සඳහන්.

ඇදහිය නොහැකි ලෙස වාර්තා වුණු මෙම ජීවිත අහිමිව යාම, දැඩි බලපෑමක් කර ඇති බවයි ‘වොෂින්ටනයේ Wild Felid උපදේශන මධ්‍යස්ථානය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම නිවේදනයට අනුව, කැලෑ පක්ෂීන් මඟින් ව්‍යාප්ත වන මෙම විනාශකාරී වෛරස් ආසාදනය, මූලික වශයෙන් ශ්වසන ස්‍රාවයන් ඔස්සේ පැතිර යන්නකි.

එමෙන්ම එය, පක්ෂීන්ව ආහාරයට ගන්නා වෙනත් සතුන් හරහා ද අසාදනය විය හැකිය.

බළලුන් මෙම වෛරසයට විශේෂයෙන් ගොදුරු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය කෙතරම් දරුණු ද යත්, සියුම් ආරම්භක රෝග ලක්ෂණ පෙන්වන එය වේගයෙන් වර්ධනය වන අතර බොහෝ විට නියුමෝනියාව වැනි තත්ත්වයන් හේතුවෙන් පැය 24 ක් ඇතුළත මරණය ළඟා කරයි.

ඒ අනුව අභයභූමිය තුළ වෙසෙන අනෙකුත් ජීවීන්ගේ ආරක්ෂාව උදෙසා නැවත දැනුම් දෙන තුරු මහජනතාවට විවෘත නොකර, අභයභූමිය නිරෝධායනයට ලක්කර ඇති බව සඳහන්.

එමෙන්ම අනෙකුත් සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ජෛව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත් බලපෑමට ලක් වූ සතුන් නිරෝධායනය කිරීම සහ විස්තීර්ණ විෂබීජ නාශක භාවිත කරන බවත් වැඩිදුරටත් සඳහන්.

කුරුළු උණ එක්සත් ජනපදයේ ගවයින් සහ කුකුළන් අතර අඛණ්ඩව ව්‍යාප්ත වන අතර පසුගියදා වාර්තා වූයේ, එය එක් මිනිසෙකුට බරපතල ලෙස ආසාදනය වී ඇති බවයි.

එමෙන්ම මෙම වෛරසය පළමු වරට එක්සත් ජනපදයේ ගවයින් හට ආසාදනය වීමට පටන් ගත්තේ මාර්තු මාසයේදී යි.

එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව 2024 අප්‍රේල් මාසයේ සිට එක්සත් ජනපදයේ කුරුළු උණ රෝගීන් 61 ක් වාර්තා වී ඇත.

කෙසේ නමුත් මෙම වෛරසයෙන් මිනිසාට ඇති අවදානම අඩු මට්ටමක පවතින බවත් සඳහන්.

Share This