පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය

5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය පසුගිය 21 වැනිදා පැවැත්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන්.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 07 ක් යටතේ පැවති තරඟාවලියේ  ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී අග්‍රාමාත්‍ය සහ කථානායවරයා ඉදිරියේදී පැවැති බව සඳහන්. ඩී.වී චානක සහ රෝහණ බණ්ඩාර  යන මහත්වරුන් අතර පැවති මෙම තරගය ජයගත් ඩී.වී චානක මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමි වුණා.

මෙහිදී පැවති ප්‍රදර්ශනාත්මක මිශ්‍ර යුගල මේස පන්දු තරගයේ ජය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන අය දිනාගත්තා.

මෙහිදී අනෙක් යුගලය ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වරුණ ලියනගේ සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් තරග කළා.

තරගාවලියේ දාම්  තරග අංශයේ ශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනාගැනීමට සමත් වූ බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එහි අනුශූරතාව  දිනාගත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී  බී. ආරියවංශ මහතා විසින්.

මේසපන්දු (පිරිමි) තරග අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාට ද හිමි වුණා.

තරගාවලියේ මේසපන්දු ( කාන්තා) අංශයේ ජය  පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය දිනාගත් අතර අනුශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් දිනා ගන්නා ගත් බව සඳහන්.

චෙස් තරග අංශයේ ශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා ද  අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහණ බණ්ඩාර මහතා විසින් ද දිනා ගන්නා ගනු ලැබුවා.

එසේම කැරම් අංශයේ ශූරතාව  දිනා ගැනීමට   ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා සමත් වුණා.  එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ  ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි.

රෝහණ බණ්ඩාර මහතාට පූල් තරග අංශයේ ශූරතාව හිමි වූ අතර  ඩී.වී චානක  මහතා විසින් එම අංශයේ අනුශූරතාව දිනා ගත්තා.

Share This