දකුණු කොරියාවේ ගුවන් තොටුපළක ගුවන් අනතුරක්
පුද්ගලයින් 177 දෙනෙකු මරුට
මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 177 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.
දකුණු කොරියාවේ නිරිත දෙසින් පිහිටි මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බවයි යොන්හැප් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.
මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් හය දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ආපසු පියාසර කරමින් සිටියදී, ගොඩබෑමේදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.
මේ වන විට දෙදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජෙජු එයාර් ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසු දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන සියලුම ගුවන් ගමන් මේ වන විට අවලංගු කර ඇති බව කොරියානු ගුවන්තොටුපළ සංස්ථාව පවසනවා.
ගුවන් යානයේ වලිග කොටසේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට හදිසි සේවා කටයුතු කරමින් සිටි බව ගුවන් තොටුපළ නිලධාරියෙක් පවසා තිබෙනවා.
යානයේ ගමන් කළ මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායි ජාතිකයන් දෙදෙනෙකු සිටි බව සඳහන්.
මියගිය 177 දෙනා අතර කාන්තාවන් 82 දෙනෙකු සහ පිරිමින් 83 දෙනෙකු වන අතර ඔවුන් අතර කුඩා දරුවකුද වනවා.
මේ වන විට එක් ගුවන් සේවිකාවක් සහ එක් මගියෙකු බේරාගෙන ඇති බව දකුණු කොරියාවේ ගිනි නිවන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර ගිනි නිවන භටයින් 80 ක් සහ ගිනි නිවන රථ 30 කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක්වූ ස්ථානයට යොදවා ඇති බව සඳහන්.
අනතුරට හේතුව තවමත් නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත්, ගුවන් යානයේ පද්ධතිවලට කුරුල්ලන් හසුවීම නිසා එය සිදුවී ඇති බවට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.