සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ පත් කිරීම ගැන පැහැදිලි කිරීමක්
සබරගමුව මහසමන් දේවාලයේ නව බස්නායක නිලමේ පත් කිරීම පෙබවාරි මාස 11 වැනි සිදු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී රත්නායක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ වනවිට තාවකාලික බස්නායක නිලමේවරයෙක් පත් කර ඇති බව ද සඳහන්.
සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරේ වසර 05ක නිල කාලය 2023 වසරේ ජුලි මාසයේදී අවසන් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අනාවරණ කළා.
ඉන් අනතුරුව පනතේ ප්‍රතිපාදන අනුව එම නිලමේවරයා විසින් සිදු කළ ඉල්ලීමක් හේතුවෙන් ඔහුගේ ධුරය කාලය හිටපු ජනාධිපතිවරයා විසින් වසරකින් දීර්ඝ කිරීමටයි පියවර ගත්තේ.
එම කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණ ද, මැතිවරණ පැවැත්වීම හේතුවෙන් එම කාලය මාස හයකින් දීර්ඝ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.
ඒ අනුව බස්නායක නිලමේවරයාගේ ධුරය කාලය 2024 වසරේ 31 වැනිදායින් එම කාලය අවසන් වන බවයි, ආර්.එම්.පී රත්නායක මහතා අවධාරණය කළේ.
“බස්නායක නිලමේ ධුරයේ කාලය ජනාධිපතිවරයාට දීර්ඝ කරන්න පුළුවන් වෙන්නේ දෙවතාවක් පමණයි. ඒ උපරිම කාලය අවුරුදු දෙකයි. ඉන්න මීගාර ජයසුන්දර මහත්මයා, දෙවන කාලය අවසන් වනවිට තවත් මාස හයක් තියෙනවානේ කියලා ඉල්ලීමක් කළා. පනත ප්‍රකාරව දෙපාරයි පුළුවන් කාලය දීර්ඝ කරන්න.
ඒ නිසා මට ඒ ඉල්ලීම ජනාධිපතිවරයාට යොමු කරන්න බැහැ. ඒ නිසා මම කිව්වා ඡන්දය තියන්න අවශ්‍ය වෙනවා කියලා. ඒ අනුව අපි ඡන්දය තියන්න කටයුතු කළා. ඉන්න නිලමේවරයා ඉල්ලීමක් කළා, වැඩබලන තනතුර දෙන්න කියලා.
අපිට පිටිනුත් කෙනෙක් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලපු පුද්ගලයා ගැන සොයලා බලපුවාම එහෙම ගැටලුවක් එතුමාගේ නැහැ. පනතේ ප්‍රකාරව එතුමා පත් කරන්න පුළුවන්.
නමුත් අවුරුදු 70 සම්පූර්ණ වෙලා තිබුණ නිසා ආයේ සැරයක් එයාට ඉල්ලන්න බැරි නිසා, මම තීරණය කළා එතුමා පත් කරන එක වඩාත් හොඳයි කියන එක. ඒ අනුව තමයි මම එතුමාව වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස තාවකාලිකව පත් කළේ.”