තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කිරීම ගැන පැහැදිලි කිරීමක්

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කිරීම ගැන පැහැදිලි කිරීමක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, එම තනතුරු සඳහා පුද්ගලයින් පත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාරයක් ලෙසින්.

තානාපති කාර්යාල කිහිපයක සිදු කර තිබූ දේශපාලන පත්වීම් නව රජය පත්වීමෙන් අනතුරුව අවසන් කිරීම නිසා කාර්යාල කිහිපයක ම පුරප්පාඩු ඇති වුණා.

එම පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය අවසන් වීමට සාධාරණ කාල අවකාශයක් ගත වනු ඇති බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරයකු හෝ මහකොමසාරිස්වරයකු කිසියම් විදේශ රටකට පත් කළ විට, එම පත්වීම සඳහා එකී විදේශ රාජ්‍යයෙන් එකඟතාව ලබා ගත යුතුයි.

රාජ්‍ය තාන්ත්‍රික පරිචයේදී එම එකඟතාව අග්‍රෙමොං යන ප්‍රංශ වදනෙන් හඳුන්වනු බව සඳහන්.

එම එකඟතාව ලබා ගැනීම සඳහා වන ඉල්ලීම, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එකී විදේශ රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා මෙන්ම එම විදේශ රාජ්‍යය සතුව ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලයක් වෙතොත් එය හරහා ද එම රාජ්‍යයේ රජයට ඉදිරිපත් කරනු ලබනවා.

එම එකඟතාව ලබාදීම සඳහා විවිධ රටවල් ලබා ගන්නා කාලය එකිනෙකට වෙනස් වන බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

සමහර රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රියා පරිපාටි ප්‍රකාර එම එකඟතාව ලබා දීමට මාස තුන හතරක් වැනි දීර්ඝ කාලයක් ගන්නා බව සඳහන්.

තවත් රටවල් එතරම් දීර්ඝ කාලයක් නොගෙන එම එකඟතාව ලබා දෙන අතර කෙසේ වූවත් සාමාන්‍යයෙන් එම කාලය මසක් හෝ දෙකක් විය හැකියි.

එකී එකඟතාව ලැබීමෙන් අනතුරුව පත්වීම ලද තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිය යුතුයි.

එසේ ඔහු හෝ ඇය එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට පෙර, එම පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කළ යුතු වනවා.

එම පත්වීමට විරෝධතා ඇතොත් ඒවා ගොනු කිරීමට සති දෙකක කාලයක් මහජනතාවට ලබා දෙන බව සඳහන්. තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයා උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ පෙනී සිටිනුයේ එම සති දෙකක කාලය ඉක්ම යෑමෙන් අනතුරුවයි.

උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලැබුණු පසු එම තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීමේ මූලික නෛතික පසුබිම සකස් කරන ලබනවා.

ඉන් අනතුරුව අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සති දෙකක පමණ නම්නීකරණ වැඩසටහනක් සංවිධානය කරන බව සඳහන්.

එම නම්නීකරණ වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව, පත් කරන ලද තානාපතිවරයාට හෝ මහකොමසාරිස්වරයාට සිය ධුරයෙහි වැඩ භාරගැනීම පිණිස අදාල විදේශ රාජ්‍යය වෙත පිටත්ව යෑමට හැකි බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.

Share This