ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා ගැන පැහැදිලි කිරීමක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වූයේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (08) දියගම ක්රිඩාංගනයේදී, රැකියා සඳහා යෝග්‍ය ශ්‍රමිකයින් තෝරාගැනීම සඳහා ශාරීරික පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී තරුණයින් කිහිප දෙනෙකු අසනීප වීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.
පසුගිය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත් කරන ලද ශ්‍රමිකයින් මෙවැනි යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව එරට සේවය කිරීම සඳහා යොමු කළ බව සඳහන්.
එම ශ්‍රමිකයින්හට අවශ්‍ය ශක්‍යතා මට්ටමට සරිලන පරිදි සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි ඊශ්‍රායල් බලධාරීන් කටයුතු කළේ.
එමෙන්ම යොමුකරන ලද ශ්‍රමිකයින්ගෙන් 80% ක ප්‍රමාණයක් සේවා ස්ථානවලින් පැන ගොස් තිබීමද ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීමට විශාල ගැටලුවක් වුණා.
මෙම ගැටලුව පිළිබඳව කාර්යාංශයේ නිළධාරීන් ඊශ්‍රායල් බලධාරීන් සමග සාකච්ඡා කළ අතර, ඊට පිළිතුරු වශයෙන්, කෘෂි රැකියාවල ස්වභාවය අනුව වෙහෙසී කටයුතු කිරීමට සිදුවන බැවින් ඊට සුදුසු ශාරීරික යෝග්‍යතාවයන් සපුරාලන ශ්‍රමිකයින් පමණක් යොමුකරන ලෙස ඊශ්‍රායල් බලධාරීන් දන්වා සිටියා.
ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් ලබාදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකා යුධ හමුදාවේ සහයෝගය ඇතිව, වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවත්වන බව සඳහන්.
පරීක්ෂණයට පෙර ඒ සඳහා අදාළ ශ්‍රමිකයින්ගේ කැමැත්ත ලබාගෙන ඇති බවයි, විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.
මෙම පරීක්ෂණයෙන් සමත්වන ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලාපොරොත්තු වනවා.
මෙම ක්‍රියාමාර්ගය කාර්යාංශය විසින් ගනු ලැබුවේ දැනට තාවකාලිකව ඇණහිට ඇති ඊශ්‍රායල් කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් සුදුසු ශ්‍රී ලාංකිකයින්ට උදාකර දීමේ අරමුණ පෙරදැරි කරගෙන බව සඳහන්.
මේ වන විට ලාංකිකයින් 15,200 ක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතවන බවයි කාර්යාංශ දත්ත වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.