ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍යයි

ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා වෙත භාරදීම අද (29) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

මෙම අවස්ථාවේදී අධිකරණ අමාත්‍යතුමා මෙසේ අදහස් පළ කළේය.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නැහැ. මේ පිළිබදව රජය විසින් කමිටුවක් පත් කළා.

ඒ කමිටුවට අදහස් හා යෝජනා ලබා දෙන ලෙස අපි ප්‍රසිද්ධ ඉල්ලීමක් මහජනතාවට කළා. ඔබ විසින් ලබා දුන් යෝජනා සාධනීය ලෙස අපි භාර ගෙන අදාළ කමිටුවට ඉදිරිපත් කරනවා. අපි ජනතාවට හොඳින් සවන් දෙන රජයක් බව කිව යුතුයි.

බලයට ඒම සඳහා අපි ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරනවා.

ඒ සඳහා ද අදහස් ලබා ගැනීම සිදු කරනවා. ජාතිවාදය ආගම්වාදය හෝ වෙනත් කරුණක් හේතු කොට ගෙන මර්දනය සදහා භාවිතා කිරීමට මේ පනත සකස් කරන්නේ නැහැ. ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී මෙවැනි පනතක් අත්‍යවශ්‍යයි. ලෝකයේ වෙනත් රටවල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් තිබෙනවා. ඒ පනත් මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ඒ රටවල් විසින් සකස් කර තිබෙනවා.”

Share This