ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා

ජනපති කියයි

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමින්.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සමරනු ලැබුවා.

යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තා.

1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරුණා.

රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබෙනවා.

ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරනු ලබනවා.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා.. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි.. පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා.. ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ.. ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි.. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා.. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින් යුතුව පියමැනිය යුතුයි.. කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි.. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.. ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි.. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ..”

විශේෂ මෙහෙවරක් සිදු කළ රේගු නිලධාරීන් 20ක් ඇගයීම සඳහා ලෝක රේගු සංවිධානය නිකුත් කර ඇති සහතික පිරිනැමීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරුණා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, නීතිපති පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ද , රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Share This