පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, රෝහලෙන් පිටව යයි
පසුගිය සතියේ පිහි ඇනුම් ප්‍රහාරයකින් තුවාල ලද බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්, ප්රතිකාරවලින් පසු ඊයේ (21) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මුම්බායි හි ලීලාවතී රෝහලෙන් පිටව යන සයිෆ්ගේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.
ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සයිෆ් සිය ආරක්ෂාව තරකර ගැනීම සඳහා සෙසු නළු රොනිත් රෝයිගේ සමාගමේ සේවය ද ලබාගෙන ඇති බවයි.
එලෙස සුවය ලබා යළි නිවසට පැමිණෙන සයිෆ්ව පිළිගැනීමට කරීනා ඇතුළු පවුලේ සියලු දෙනා මහත් උනන්දුවෙන් සූදානම්ව ඇති අන්දමත් දක්නට ලැබුණා. ඉන්දීය මාධ්‍ය එය වාර්තා කර තිබුණේ, ‘ඔවුන්ගේ නිවස දීපවාලි උත්සවයකට මෙන් සරසා’ තිබුණු බවයි.
සයිෆ් අලි ඛාන් මෙම සිදුවීමට මුහුණපා තිබුණේ මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේදී යි.
මේ සම්බන්ධයෙන් සයිෆ්ගේ පවුලේ පිරිස් වෙතින් සැනින් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකළ නමුත්, විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින් අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්රචාරක කණ්ඩායම එම දිනයේදීම නිවේදනය කර තිබුණා.
මෙම පිහි ඇනුම, සයිෆ් – කරීනා යුවළගේ නිවසේ සොරකමක් කිරීමට ගත් උත්සාහයකදී සිදු වූවක් වූ බවයි පසුව සඳහන් වූයේ.
පිහි ඇනුමෙන් තුවාල ලද සයිෆ්, ශල්‍යකර්මයකට බඳුන්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පවුලේ අනෙක් අය හොඳින් පසුවන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
සයිෆ්ගේ නිවසට සැකකරු ඇතුළු වී තිබුණේ ඔහු සිය බිරිඳ කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් – ජේ දෙදෙනා සමඟ නිදා සිටියදී යි.
පසුව නළුවා සහ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා අතර ගැටුමක් ඇති ව ඇති අතර, අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා සයිෆ් අලි ඛාන්ට කිහිප වතාවක් පිහියෙන් ඇන අපරාධ ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණයව තිබුණේ.
එමෙන්ම සයිෆ්ගේ නිවසේ සිටි සේවිකාවකට ද අදාළ පුද්ගලයා පහර දී ඇති බවත් එම සේවිකාව ද ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන්.