රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම වගකීම බව වැඩබලන ආරක්ෂක ඇමති කියයි
“රටේ හමුදාව ලෙස අපගේ ප්‍රමුඛතම වගකීම රටේ පුරවැසියාගේ ආරක්ෂාව..” බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සනිටුහන් කරමින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
නව රජයක් ලෙස තැබු පළමුවන පියවර ලෙස, Clean Sri Lanka වැඩසටහන හරහා රටේ පුරවැසියන්ගේ ආකල්ප පිරිසිදු කරමින් ඒ ඔස්සේ රටේ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරමින් රටේ ඉදිරි පරම්පරාව සඳහා යහපත් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු මේවන විටත් සම්පාදනය කර අවසන් බවද අරුණ ජයසේකර මහතා පැවසුවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම කර්තව්‍යයෙහිලා ප්‍රධානතම වගකීම උසුලන රාජ්‍ය ආයතනය බවයි භට පිරිස් අමතමින් ඔහු කියා සිටියේ.
සම්මාන පෙළපාලියක් පිරිනමමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී පිළිගන්නු ලැබුවා.
අනතුරුව, යුද හමුදාධිපති විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දීම සිදු කර තිබෙනවා.
ඉන් අනතුරුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සහ යුද හමුදාපතිවරයා කෙටි සුහද සාකච්ඡාවක නිරත වෙමින් අදහස් හුවමාරු කර ගත්තා.
මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක් පැවැත්වුණා.
වැඩසටහන් මාලාව අවසානයේ මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයාගේ යුද හමුදා මූලස්ථාන සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්රදානය කළා.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක් වුණා.
ඡායාරූප👇🏻