සුනඛයෙක් නිසා ගමක් භීතියෙන්

සුනඛයෙක් නිසා ගමක් භීතියෙන්

කඳනගොඩ, දොඩංගොඩ ප්‍රදේශයේ අයිතිකරුවෙකු නොමැති සුනඛයෙකු නිසාවෙන් ප්‍රදේශයේ නිවාස විස්සක පමණ ජීවත්වන දරුවන් සහ වැඩිහිටියන් බියෙන් පසුවන බවට ප්‍රදේශවාසීන් පවසනවා.

එයට හේතු වී ඇත්තේ මෙම සුනඛයා එම ප්‍රදේශයේ ජීවත්වන කුඩා දරුවන්, කාන්තාවන් දස දෙනකු පමණ සපා කා තිබීමයි.

මෙම සුනඛයා පිළිබඳව දොඩංගොඩ පොලිලීසියට අවස්ථා කිහිපයකදී දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් එම තත්ත්වය පිළිබඳව දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට තොරතුරු දන්වා ඇති බව සඳහන්.

මේ වන විටත් ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ සුනඛයා පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කර නොමැති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

පාසල් නිවාඩු සමය ඇරඹීමත් සමඟ ප්‍රදේශයේ පාසල් දරු දැරියන් නිතර එම මාර්ගයේ බයිසිකල් පැදීම, සෙල්ලම් කිරීම සිදුකරන අතර එම දරුවන්ට එම අවස්ථාව මේ වන විට මගහැරී ඇත්තේ මෙම සුනඛයා නිසා බවයි දෙමාපියන් පවසන්නේ.

මෙවැනි තත්ත්වයක් තුළ මෙම ප්‍රදේශයේ ජනතාව නිවසට වී කාලය ගත කරන්නේ සිර කූඩුවක ජීවත් වෙන පිරිසක් විදියට බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This