දියනාමින් සිටි යුක්රේන ජාතිකයෙක් මරුට
අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය යුක්රේන ජාතික පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.
ඒ ඔහු දියවැලකට හසුව ගසාගෙන යාම නිසයි.
එහිදී තවත් යුක්රේන ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකුද දිය වැලට හසුව ගසාගෙන ගොස් ඇති බව සඳහන්.
එම අවස්ථාවේ එහි රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඔවුන්ව බේරාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් බරපතළ තත්ත්වයේ සිටි වයස අවුරුදු 54 ක් වූ යුක්රේන ජාතික පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.
දිවි බේරාගත් ගැහැණු ළමුන් දෙදෙනා වයස අවුරුදු 13 හා 17 හි පසුවනවා.
ඊයේ (26) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර යුක්රේන ජාතිකයාගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
අහුන්ගල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.