‘Clean Sri Lanka’ වැඩසටහන ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

‘Clean Sri Lanka’ වැඩසටහන ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම විවාදය එළැඹෙන 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

‘Clean Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම විවාදය පවත්වන බවයි අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ.

විශේෂයෙන් ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳ ආදර්ශයක් ලබාදීම, ඒ සඳහා ජනතාව උනන්දු කරවීම සහ මෙම වෙනස්වීමෙහි පවතින අවශ්‍යතාව අවධාරණය කිරීම ද ඊට ඇතුළත්.

එමෙන්ම මේ තුළින් ශ්‍රී ලාංකික සමාජය තුළ සාධනීය වෙනස් කම් සිදුකිරීම මෙහි මූලික අරමුණ වන බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනෙවිය කියා සිටියේ.

මේ අතර අද (08) දිනයේත් පාර්ලිමේන්තු කටයුතු කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඒ අනුව අද උදෑසන කාලය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පසුව ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි ඇතුළු කරුණු රැසක් විවාදයට ගැනීමට නියමිතයි.

ලබන 09 වැනිදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙ‍ළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ජනවාරි 10 වැනි සිකුරාදා දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා වෙන්කර ඇති බව සඳහන්.

Share This