පාර්ලිමේන්තුවේ රථවාහන වලියක්
අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක්
අගමැති කාර්යාලය සතු වෙඩි නොවදින රථ දෙක භාවිත නොකිරීමෙන් ඒ සඳහා මාසිකව වැයවු රුපියල් කෝටි 3.7ක වියදමක් ඉතිරි කරගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ආණ්ඩුවේ මැති ඇමතිවරු සුඛෝපභෝගී වාහන භාවිතා කරන බවට, චාමර සම්පත් දසනායක හා හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
තමා අගමැතිධූරයට පත්වීමට පෙර මාසිකව වැයවූ ඉන්ධන වියදම ලක්ෂ 22.4න් අඩුකර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය මැතිසබයේදී ප්‍රකාශ කළේ.
තමන් අගමැති ධූරයට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන සඳහා මාසිකව ඉන්ධන වියදම පමණක් ලක්ෂ 32.4ක් වැය වී ඇති බවද හරිනි අමරසූරිය මෙනෙවිය කියා සිටියා.
ඒ අනුව තමන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ පසු එය මාසිකව රුපියල් ලක්ෂ දහය දක්වා අඩු කිරීමට හැකියාව ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට රේන්ජ් රෝවර් එකක් ලබා දී ඇති බවයි එහිදී සිය චාමර සම්පත් මන්ත්‍රීවරයා කියා සිටියේ.
අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයාබලන බවයි.
එමෙන්ම තමන් ඇතුලු අමාත්‍ය මණ්ඩලයට භාවිත කිරීමට සිදුව තිබෙන්නේ අමාත්‍යංශවල අමාත්‍යවරුන්ට වෙන් කර තිබෙන වාහන සංචිතවලින් අවම ඉන්ධන පිරිවැය සහිත වාහන තෝරා ගැනීමට බවද අගමැතිනිය පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් එම වාහන අතර පවතින වාහන සුඛෝපභෝගි වාහන වීම හේතුවෙන්, ඒවා අතරින් වාහන තෝරාගැනීමේදි අඩු වියදම් සහිත වාහන තෝරා ගැනීමේ දැඩි අපහසුතාවයක් පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළා.
එම වාහනද ලබාදී තිබෙන්නේ අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පමණක් බවත්, සුගත් වසන්ත ද සිල්වා මහතාට හැර වෙනත් කිසිඳු මන්ත්‍රීවරයෙකුට රජයෙන් වාහන කිසිවක් ලබාදි නැති බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියා.