රුසියාවේ යුද්දෙක පැටලී සිටින සෙබළෙක් ජනාධිපතිට ලියූ සංවේදී ලිපිය

රුසියාවේ යුද්දෙක පැටලී සිටින සෙබළෙක් ජනාධිපතිට ලියූ සංවේදී ලිපිය

රුසියාව සහ යුක්‍රේනය අතර පැවැත්වෙන යුද්ධයට ශ්‍රී ලාංකීකයන් ද සම්බන්ධ වී සිිටිති.

එලෙස යුද්ධයට සහභාගීවී සිටින සොල්දාදුවෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කර ඇත.

“ජනාධිපති අනුර කුමාර දිසානායකය සහෝදරයා වෙතයි,

ජනාධිපතිවරයාට සහෝදරාත්මකව මේ ලිපිය ලියන්නේ රුසියාවේ සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමික සොල්දාදුවන් පිරිසක් විසිනි.

අප රුසියාවට ආවේ ඉකුත් 2024 වසරේ මුලදිය. එසේ රුසියාවට ආවේ ලංකාව බංකොළොත් වී නන්නත්තාර වෙමින් තිබුණ මොහොතකය. හිටපු සොල්දාදුවන් වන අපි රට වෙනුවෙන් ජීවිත පරදුවට තබා කොටි ත්‍රස්තවාදීන් සමග යුද බිමේ සටන් කළ අයය. මේ සටහන තබන මා නන්දිකඩාල් කලපුවේ අවසන් දින අවසන් වෙඩි මුරයට එක් වූ සෙබලෙක් වගද සිහි කළ යුතුමය.

අප රුසියාවට ආවේ රුසියානු යුද හමුදා කදවුරු අභ්‍යන්තරයේ රැකියා කරනු රිසියෙනි. ඒ කාලයේ මිනිස් ජාවාරම්කරුවන්ගේ වහසි බස් වලට රැවටී දහසකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් වරින් වර රුසියාවට පැමිණි වග දැන් මුළු රටම දන්නා කරුණකි.

රුපියල් ලක්ෂ 15ක් 20ක් ගෙවා අපි රුසියාවට ආවේ දරු ලංකාවේ සිට ජීවිතය ගැට ගසා ගත නොහැකි වූ නිසාය. ජනාධිපති සහෝදරයානෙනි,
මෙරටට ආ පසු අප කෙළින්ම යොමු කළේ යුක්‍රේන යුද පෙරමුණටය. ශ්‍රී ලාංකික සෙබළුන් විශාල පිරිසක් මිය ගියහ. පිරිසක් තුවාල ලබා තුවාල සුව වූ පසු යුද බිමේය. මේ ලිපිය යොමු කරන මා ඊළග තප්පරේ මළවුන් අතරට එක්වනු නිසැකය.

ජනාධිපති සහෝරයාණෙනි.,

මා මියෙනු ඇත.වසරක කොන්ත්‍රාත් කාලයකට රුසියාවට ආ අපට වසරක් ගෙවී ගියත් ආපසු ඒමට ඉඩ දී නැත. මා මියැදුනත් රුසියාවට ගොස් යුකේන යුදදයට කොටු වූ එකෙක් හෝ යළි පණ පිටින් ශ්‍රී ලංකාවට පැමිණ යුතුය. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ ඒකටය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී රුසියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකික සෙබළු බේරාගනු ලැබේ කියා ප්‍රවෘත්තිය දකින්න මට නොලැබුණත් එය දකින එකෙක් හෝ හිටියොත් මේ ලිපිය එල දරන බව අපට විශ්වාසය.”

Share This