උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා

උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා

උතුරු මැද පළාතේ පාසල් වල අද(06) දිනට පැවැත්වීමට නියමිතව තිබූ වාරය විභාගයට අදාළ 11 ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රය පිටවී තිබීම හේතුවෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම ප්‍රශ්න පත්‍රය අද පැවැත්වීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

උතුරු මැද පළාතේ දිගින් දිගටම සිදුවන මෙම විභාග වංචාවන් පිළිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත මහතා තොරතුරු අනාවරණය කරමින් මෙසේ පැවසුවා.

“අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණියේ සිංහල රසාස්වාදය ප්‍රශ්න පත්‍රය අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපකාරක පන්තිවල පසුගිය ඉරිදා දින සිසුන්ට උගන්වා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග උතුරු මැද පළාත් විභාග අධ්‍යක්ෂකවරයා විසින් මේ පිළිබඳ තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීම අත්හිටුවිමට පියවර ගත්තා.

මෙම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරිම සඳහා රුපියල් 150,000ක මුදලක් වැය කර තිබෙනවා. පසුගිය සතියේද උතුරු මැද පළාතේ 6 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම සිදුකළ ගුරුවරියක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තියෙනවා. එම ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය කිරීම සඳහා වැය වී ඇති මුදල රුපියල් 250000 වෙනවා. මේ ආකාරයට දිගින් දිගටම උතුරු මැද පළාතේ සිදුවන මේ විභාග වංචාවන් පිළිබඳව වරින් වර වාර්තා වුවත් බොහෝ විට එවැනි ගුරුවරුන් වෙනුවෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා මෙම විභාග වංචාවන් දිගින් දිගටම සිදුවෙනවා.

මේ නිසා මේ පිළිබඳව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් මීට පෙරත් අවස්ථාව ගණනාවකදී ඉල්ලා සිටියා. ඒ අනුව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අද දිනයේ පොලීසියට ද පැමිණිලි කරන බව අපට සඳහන් කළා.

කෙසේ වෙතත් අප කියා සිටින්නේ මේ පිළිබඳව රහස් පොලීසිය මගින් විධිමත් ලෙස පරීක්ෂණ සිදුකර වංචාවන් සිදු කරන මේ ගුරුවරුන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. බොහෝවිට මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම් සිදුවන්නේ ප්‍රශ්න පත්‍රය හදන ගුරුවරුන් මගින් නැත්නම් ප්‍රවාහනය කිරීම් මගින් එසේ නැත්නම් මුද්‍රණය කරන අවස්ථාවේදී යන අවස්ථා තුනේදී හැර මේ ප්‍රශ්න පත්‍රය පිටවීමක් සිදුවන්නේ නෑ. එම නිසා මේ පිළිබදව අධ්‍යාපන බලධාරීන් දැඩිව අවධානය යොමුකර එවැනි වංචාවක් දිගින් දිගටම සිදු කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතුයි.

මේ ප්‍රශ්න පත්තර මුද්‍රණය සදහා ලක්ෂ ගණන් වැය කරන්නේ දරුවන් වෙනුවෙන් වැයකරන මුදල් . එම නිසා ඒ සදහා වැය කල සියලු මුදල් එම ගුරුවරුන්ගෙන් අයකරගැනීමට කටයුතු කල යුතුයි.”

Share This