රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව දුන් පොරොන්දුව

රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුව දුන් පොරොන්දුව

රජය සෑම අවස්ථාවකදී රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන බව ජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැති පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සමාලෝචන සමුළුවට එක්වෙමින්.

ඒ හේතුවෙන් කිසිදු සැකයකින් තොරව පස් අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමේදී රජය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙසට ද චන්දන අබේරත්න මහතා ඉල්ලා සිටියා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාර්යයන් සමාලෝචන සමුළු පවත්වනු ලබන්නේ, රජයේ ඉදිරි පස් අවුරුදු සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට ඇති ගැටළු හඳුනාගෙන කාර්යයන් ද්වීරණයකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විසඳුම්වලට එළැඹීම සඳහායි.

දිවයිනේ සියලු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඒ ඒ පළාත් තුළ මෙම සමුළු පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ වඩාත් ශක්තිමත් රාජ්‍ය සේවයක් බිහිකිරීම, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සහ තිරසාර පාරිසරික සංවර්ධනයක් ඇති කරගැනීම යන මූලික අරමුණු කරගෙනයි.

මේ අතර සමුළුව ආමන්ත්‍රණය කළ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා යනු හුදෙක් පරිසරය පිරිසිදු කිරීම පමණක්ම නොවන බවයි.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල ඉදිරි පස් අවුරුදු සැලැස්ම ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පයට අනුව අංශ පහක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා පෙන්වා දුන්නා.

තවද වත්මන් රජය, රාජ්‍ය සේවකයා සහ මහ ජනතාව එකම ගමන් මගකට එළඹිය යුතු යැයි තීරණය කර ඇති මොහොතක රාජ්‍ය සේවකයාට සේවය කළ හැකි පරිසරයක් විසින් ගොඩනගා ඇති බව ඒ මහතා සඳහන් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෙර පැවති පාලන තන්ත්‍රයන්වලදී රටට අහිතකර දෙයක් වුවද දේශපාලන බලයට යට වී හෝ මර්ධනයට බියවී සිදුකිරීමට රාජ්‍ය සේවකයාට සිදුු වූවත් තමන් ඇතුළු වර්ථමාන රජය එවැනි තත්ත්වයකට ඉඩ නොතබන බවයි.

රාජ්‍ය සේවකයා නිවැරදි නම් ඒ සෑම අවස්ථාවකම රාජ්‍ය සේවකයා වෙනුවෙන් සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම නියම පෙනී සිටින බවද  අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සහ අභ්‍යන්තර කාර්යයන් ඩිජිටල්කරණය, කාර්යය මණ්ඩල ධාරිතා සංවර්ධනය, තිරසාර මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සේවා පහසුකම් පුළුල් කිරීම සහ තිරසාර පරිසර සංවර්ධනය යන අංශ ඔස්සේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරි පස් අවුරුදු සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් වූ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමෙහි ලා රජයෙන් ඉදිරියේදී ධනාත්මක පිළිතුරක් ජනතාවට ලැබෙනු ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් එහිදී සඳහන් කළා.

විශේෂයෙන් අමාත්‍යාංශයට අයත් ආයතනවල කසල කළමනාකරණ ක්‍රියාවලියේදී, කසල කළමනාකරණ ප්‍රතිසාධන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා මේ වන විට මූලික කටයුතු සිදු වෙමින් පවතිනවා. එමෙන්ම අමාත්‍යංශ ආයතනවල කාර්ය සාධනය වෙනුවෙන් වූ ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් ආරම්භවීමට නියමිතයි.

කසල කළමනාකරණයේදී පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට යම් ආදායමක් ලැබුණහොත් එම ආදායම පළාත් සභා සහ පළාත් පාලන බල ප්‍රදේශවල ඇති ප්‍රධාන ගැටළුවල විසඳුම් සඳහා යොදවනු ඇති.

මෙම ක්‍රියාදාමයෙහිලා පළාත් සභා සහ පළාත්  පාලන ආයතනවල නිලධාරීන්ට පවතින ගැටළු හඳුනාගෙන ඒවාට මූලික පිළියම් සිදු කිරීමත් අදාළ ව්‍යාපෘති පිළිබඳ මූලික දැනුවත් කිරීම සිදු කිරීමත් එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන නිලධාරීන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීමත් මෙම සමුළු පැවැත්වීමේ අරමුණයි.

ඉතා කඩිනමින් අනෙකුත් පළාත් අටෙහි මෙම කාර්යය සමාලෝචන සමුළු පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This