වෘත්තීය ත්‍රිවීල්කාරයෙක් කවදාවත් පාරිභෝගිකයට වංචා කරන්නේ නෑ – සංගම් සභාපති ලලිත් ධර්මසේකර කියයි

තුන් රෝද රථය මෙරට මාර්ග පද්ධතියට පැමිණ මේ වනවිට දශක කීපයක් ඉක්ම ගොස් අවසන්ය. එකල ඉතා සුළු මුදලක් ගෙවීමෙන් අනතුරුව මිලදී ගත හැකි තුන් රෝද රථය වඩාත් ප්‍රචලිත වූවේ පොඩි මිනිසුන්ගේ වාහනය ලෙසය. එකල සිදු කරන ලද එම හැඳින්වීම අදටද වලංගු වන නමුත් මේ දිනවල අලුත් තුන් රෝද රථයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වැයකළ යුතුය. මිල ගණන් අතින් ගත් කල තුන්රෝද රථය තවදුරටත් පොඩි මිනිසාගේ වාහනය ලෙස හැඳන්විය නොහැකි ගමනක් ගොස් අවසන්ය.
කෙසේ වුවද මෙරට මගීන් ප්‍රවාහන සේවා අතර ප්‍රධාන භූමිකාවක් බවට පත්ව ඇති තුන් රෝද රථ හෙවත් ත්‍රීවිල් කර්මාන්තය මෙරට අස්සක් මුල්ලක් නෑර මේ වනවිට ක්‍රියාත්මකය. අදින් ඇරැඹෙන මෙම විශේෂාංගය තුළින් අපි උත්සහ කරන්නේ මෙරට වෘත්තීය ත්‍රීවිල් රථ රියැදුරුන්ගේ අත්දැකීම් පාඨක ඔබ හා බෙදා හදාගැනීමටය. ඒ පිළිබඳ කතාබහක් පිණිස
මෙවර අපගේ තෝරා ගැනීම බවට පත් වන්නේ එම ක්ෂේත්‍රයේ වසර තිස් ගණනක අත්දැකීම් සහිත පුද්ගලයෙක්ය. කොළඹ කොල්ලුපිටිය කේන්ද්‍ර කර ගනිමින් සිය වෘත්තීය ජීවිතය අරඹන හේ ඉන් අනතුරුව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය
ආරම්භ කිරීමේදී පුරෝගාමී මෙහෙවරක නිරතවූ පුද්ගලයෙක් ලෙසද ප්‍රකටය. මේ වනවිටත් එහි සභාපති ධුරය හොබවන ඔහු නමින් ලලිත් ධර්මසේකරය. අප සමග කතාබහට එක්වූ ලලිත් පළමුව විස්තර කර සිටියේ මෙරටට ත්‍රිරෝද රථ හඳුන්වා දුන් ආරම්භක අවධිය පිළිබඳවය.
“මං අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස් පෙළ කරන්නේ 1981 අවුරුද්දේ. ඒ වෙද්දි ලංකාවට. ත්‍රිවීල් හඳුන්වා දීල ඉවරයි. ඒ කාලේ උසස් පෙළ ටියුෂන් පන්ති ගාස්තුව රුපියල් 15යි. විෂයන් හතරට රුපියල් 60යි. රුපියල් හැට කියන්නෙත් ඒ කාලෙ හැටියට ලොකු මුදලක්. ටියුෂන්වලට වියදම් කරන්න මට සල්ලි නෑ. එතනින් අධ්‍යාපනය ඉවර කළා. මාස හතරයි උසස් පෙළ ඉගෙන ගත්තේ.විශ්වාස කරන්න ජර්මන් ටෙක් එකේ කෝස් එකක් කරන්නත්
හිතවත්කම් අවශ්‍යයි. අපිට එහෙම හිතවත්කම් තිබුණේත් නෑ. පොඩි පොඩි රස්සා කීපයක් කළා. මහන්සියේ තරමට ප්‍රතිඵල නෑ. නිදහසක් නෑ. 1992 අවුරුද්දේ මම ත්‍රිවීල් රස්සාවට බැස්සා. එදා ඉඳන් අද වන තෙක් මං ඒ වෘත්තියේ ඉන්නවා. මේක හරිම නිදහස් රස්සාවක්. මගේ නෝනා කොල්ලුපිටියේ. පානදුර කිරිබේරියේ ඉපදුන මං විවාහයෙන් පස්සේ කොල්ලුපිටියේ පදිංචියට එනවා. දැන් මගේ දුවට අවුරුදු 28යි. මම සීයා කෙනෙක්. ඔය රෝද තුනෙන් තමයි දරුවගේ අධ්‍යාපන කටයුතු කළේ. ගේ දොර හදාගත්තේ. ඒ සියල්ලට අමතරව මේ ගෙවන නිදහස් ජීවිතේ. කාටවත් බය නෑ. සමාජයට වරදක් කරල නෑ. අදත් ලස්සනට ජීවත් වෙනවා…”
ලලිත් ධර්මසේකර තමන් මෙතෙක් පැමිණි ගමන් මග ආරම්භ කළ ආකාරය සිහිපත් කර සිටියේ ඒ ආකාරයෙන්ය. ඔහුගෙන් අසා දැන ගත යුතු බොහෝ දේ තවත් ඇත. කතාවකට එහා ගිය යමක් ඔහුගේ කටහඬ තුළ විය. සමාජය නම් විශ්ව විද්‍යාලයෙන් ඔහු හොඳින් වැඩගෙන ඇත. එබැවින් ඔහුගේ හඬට තව දුරටත් ඉඩ දිය යුතුව තිබේ.
‘ත්‍රිවීල්කාරයා කිව්ව හැටියේ මහා සමාජය ඇතුළේ එකපාරටම මැවෙන්නේ වැරැදි චිත්‍රයක්. මං හිතනව දැන්වත් මේක නිවැරැදි විය යුතුයි කියල. නිවැරැදි විය යුතු නම් ඒ ඇයි කියල පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනනේ. උදාහරණයකට මාවම ගත්තොත් මම ත්‍රීවිල් කාරයෙක්. මේ රස්සාවෙ හොඳ වගේම නරක පැත්තක් තියෙනවා.රට ඇතුළේ ප්‍රමාණත්මකව ත්‍රිවීල් වැඩිවෙද්දි ගුණාත්මක පැත්තෙන් යම් කඩා වැටීමක් සිද්ධ වෙනවා. මේ රස්සාව ඇතුළේ විතරක් නොවෙයි ඕනෑම ක්ෂේත්‍රයක එහෙම දෙයක් වෙනවා.’ ඒක නිවැරැදි විය යුතුයි. ඒ ගැනත් මං පස්සෙ කියන්නම්. මම කලින් කිව්වනේ මට ඉන්නේ දුවක් කියල. ඒ දරුවා ඉස්කෝලෙ ගියේ ලින්ඩ්සේ බාලිකාවට. මගේ දුව විතරක් නොවෙයි ඒ කාලේ ත්‍රීරෝද රස්සාව කරපු හුඟ දෙනෙක්ගේ දරුවෝ ඒ පාසලේ ඉගෙන ගත්තා. පාසලට යම් අකටයුත්තක් වෙනව නම් ඊට එරෙහිව මුලින්ම නැගී සිටියේ අපි. ඒ වගේම පාසලේ යහපත වෙනුවෙන් යමක් කරන්න තියෙනව නම් ඒ සඳහා මුලින්ම ඉදිරිපත් වෙන්නේ අපි. මොකද ඒකට අවශ්‍ය නිදහස මේ රස්සාව ඇතුළේ තිබුණ. එදා විතරක් නොවෙයි ඒ නිදහස අදත් පවතිනවා. ඒක වෙනම කතාවක්. දවසක් ගුරුවරියක් මගේ දුවගෙන් අහල තිබුණ තාත්තගේ රස්සාව මොකක්ද කියල. දුව කියනවා මගේ තාත්තා කරන්නේ ත්‍රිවීල් රස්සාව කියල. ඒ වෙලාවේ ටීචර් කියල තියෙනවා ආ මේ ත්‍රිවීල්කාරයෙක්ගේ දුවෙක් කියල. ඉස්කෝලෙ ඇරුනට පස්සේ දුව ගෙදර එක්ක එන්න ගිය වෙලාවේ දුව මේ විස්තරය මට කිව්වා.එදා මම කල්පනා කළා තව දුරටත් මේ රස්සාවෙ ඉන්නවද එහෙම නැත්නම් වෙන අතක් බලනවද කියල. අන්තිමට මම තීරණය කළා මම තව දුරටත් මේකෙම ඉන්නවා ඒ විතරක් නොවෙයි මේ රස්සාවට යම් හැඩයක් හදල දෙන්න පුළුවන් කොහොමද ඒවෙනුවෙන් පෙනී ඉන්නව කියල. එදා ඉඳන් මේ දක්වා ත්‍රිවිල් රස්සාවට වෘත්තීය වටිනාකමක් අරන් දෙන්න මම ලොකු උත්සාහයක නිරත වෙනවා. නමුත් කිසිම රජයක් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. අපි සටන අත හරින්නෙත් නෑ. ඒ ගැනත් මේ ගමන් කතා කරමු.’
මේ වනවිට මෙරට ලියාපදිංචි ත්‍රිවීල් රථ කොපමණ දැයි සඳහන් කිරීම පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන අප සතුව නැත. ලලිත් පවසන ආකාරය එම සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ඇත. ඒ අතරින් ත්‍රීවීල් ලක්ෂ 03ට ආසන්න සංඛ්‍යාවක් කොළඹ හා ඒ අවට පවතින බවත් මෙරට මගී ප්‍රවාහනය සඳහා ත්‍රීවීල් රථ ලක්ෂ 08ට වඩා වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවත් ඔහුගේ මතය බවට පත්ව ඇත.
“ත්‍රීවීලරය කියන්නේ පවුලේ වාහනය ඒක ඇත්ත. මගේ ත්‍රීවීලරයේ පරම්පරා හතරක් අදටත් ගමන් කරනවා. අඩු ආදායම් මට්ටමක ඉන්න අයට මේක තමයි වාහනය. අද නිදහසේ ගිහින් චිත්‍රපටියක් නරඹන්න සංගීත සංදර්ශනයක් නරඹන්න එහෙමත් නැත්නම් වෙනත් තමන්ගේ පෞද්ගලික වුවමනාවක් ඉටුකරගන්න ඒ වගේම සල්ලි දීල පත්තරයක් අරන් ඒක නිදහසේ කියවන්න ඔය ඔක්කොම කරන අතරේ පවුලේ ආදායම හොයා ගන්න මේ ඔක්කොම තනි මිනිහෙකුට කරන්න පුළුවන් රස්සාවක් තියෙනව නම් ඒක තමයි ත්‍රීවීල් රස්සාව කියල මම බය නැතිව කියනවා. මෙන්න මේකට තමයි මානසික නිදහස කියන්නේ. අද සමාජයේ කීයෙන් කී දෙනාටද එහෙම ජීවිතයක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. මං රස්සාව කරන කොල්ලුපිටිය කියන්නේ දිව්‍ය ලෝකය වගේම සතර මහා අපායත් එකවර දැක බලා ගන්න පුළුවන් තැනක්. ඒ කාලෙ අද වගේ ත්‍රීවීල් වැහි වැහැල තිබුණේ නෑ. කොළඹ ජාතික රෝහල අසල ත්‍රීවීල් රථ ගාල් හතරයි. බම්බලපිටිය, කොල්ලුපිටිය, කොටුව, පිටකොටුව ගත්තත් එහෙමයි. අද වගේ ත්‍රීවීල් නැහැ. ජාතික රෝහල ගාව ත්‍රීවීල් රථ ගාල් ඉවත් කරන්න ඒ කාලේ තීරණයක් ගත්ත. එහෙම කළොත් බර ගාණකට රස්සා නැති වෙනවා. කොල්ලෝ ටික ගිහින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට මේ බව කියනවා.
ඒ කාලේ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ. කොහොම හරි ඒ ප්‍රශ්නය විසඳගත්තට පස්සෙ රේණුක පෙරේරා මහත්තය මේ ප්‍රශ්නයට මැදිහත්වෙලා ශ්‍රී ලංකා ත්‍රීවීල් රියැදුරන්ගේ ජාතික සංගමය කියල සංවිධානයක් හැදුවා.
එතුමා තමයි සංගමයේ සභාපති. රථගාල් අයිතිය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඒ හරහා දිනා ගන්නත් අපට පුළුවන්කම ලැබුණා. ඒ සංගමයේ කොළඹ කමිටුවේ සංවිධායක ධුරය මට ලැබුණා. සාමාජික ගාස්තුව රුපියල් 15යි. ත්‍රිවීල් රස්සාව කරන හුඟ දෙනෙක් මුදල් ගෙවල සංගමයට බැඳුන. ඔය කාලේ රටේ කොටි ත්‍රස්තවාදය තදින්ම තිබුණ. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහත්තයා.කොළඹ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ රැස්වීමක් ඒ මහත්තයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වෙලාවක මම නැගිටල කිව්වා අපේ කට්ටිය මේ වගේ සංවිධානයක් පිහිටුවල තියෙනවා ඒකෙන් වැඩක් ගන්න කියල.එදා බෝධි ලියනගේ මහත්තය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියල අපේ ඔළුවට දුන්න. ඒ වෙද්දි අපේ ඔළු ඇතුළේ තිබුණේ අපේ වෘත්තිය සම්බන්ධයෙන් ගැටලු පමණයි. බෝධි ලියනගේ මහත්තයගේ දේශනයෙන් පස්සේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් රැසක්අපිට භාර දුන්නා. ඔය වෙද්දි කොළඹ ට්‍රැෆික් වන් ලෙස කටයුතු කළේ එස්.එස්.පී. ඇල්ෆ්‍රඩ් විජේවර්ධන මහත්තයා. බෝධි ලියනගේ මහත්තයගේ උපදෙස් මත ඇල්ෆ්‍රඩ් විජේවර්ධන මහත්තයට ත්‍රිවීල්කරුවන්ව භාර දුන්න. සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය නමින් අලුත් සංවිධානයක් ඔය කාලේ පටන් ගත්තා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ තමයි අනුශාසක වශයෙන් කටයුතු කළේ. ඒ කාලේ වැරැදි මතයක් පැතිරිල තිබුණ යම් අපරාධයක් වුණොත් ඒකෙ සැකකරුවා ත්‍රිවීල්කරුවා කියල.
“බෝධි ලියනගේ මහත්තය ඇතුළු ඒ කාලෙ පොලිසියේ හිටපු උසස් නිලධාරීන් මේ මතය වෙනස් කළා. එතෙක් කලක් ත්‍රිවිල්කාරයා තමයි ඕනෑම අපරාධයක් පසුපස ඉන්නේ කියන මතය වෙනස් කරමින් සැකකරු තමයි සහකරු කියන මතයක් පොලිසිය තුළ ගොඩනංවලා අපිත් එක්ක සමීපව වැඩකරන්න පොලිසිය තීරණය කළා. එදා ඉඳල පොලිසියට හෝ ගාල තොරතුරු එන්න ගත්තා. ඒ තොරතුරු දුන්නේ අපි. කොළඹ හැම අස්සක් මුල්ලක් නෑර අපි රිංගන හින්ද හොඳම බුද්ධි තොරතුරු තිබුණේ අපි ළඟ. නමුත් සමාජය තුළ ගොඩනැගුණේ වෙනම මතයක්. පොලිසිය විසින් ඒ මතය වෙනස් කළාට පස්සේ තමයි පොලිසියට අපි හරහා තොරතුරු එන්න ගත්තේ. යුද්ධය නිමාවෙනතුරුම ඒ ජාලය ක්‍රියාත්මක වුණා. උසස් පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක අපට දීල තිබුණා.දවසක් වැල්ලවත්තේ සිද්ධ වෙච්ච සිද්ධියක් කියන්නම්. කොටි ත්‍රස්තවාදියෙක් එක්තරා දේශපාලනඥයකුව මරන්න වැල්ලවත්තට එනවා. අපේ කොල්ලෙක් ඒ වෙලාවේ වැල්ලවත්තට හයර් එකක් යනවා. අර ත්‍රස්තවාදියා ඉණේ තිබුණ පිස්තෝලයක් අතට ගන්නව අපේ එකා දකිනවා. කොල්ල මට කතා කරලා කිව්වා “ලලිත් අයියේ එකෙක් පිස්තෝලයක් ඇද්දා” කියලා. මම ඒ වෙලාවේම ඒ බව පොලිසියට කියනවා. තවත් විනාඩි දෙකකින් විතර අපේ එකා කිව්වා
“ලලිත් අයියේ අරූ කාටද වෙඩි තිබ්බ. තියල පැනල දිව්වා” කියලා. ඒ වෙද්දි අපි දීපු ආරංචියට පොලිසිය වැල්ලවත්තේ ඒ කිව්ව තැනට යනවා. විනාඩි කීපයකින් අර වෙඩි තියල පැනල යන ත්‍රස්තවාදියාව අල්ල ගන්නවා. ඔය එක සිද්ධියක් විතරයි. ඔය වගේ සිදුවීම් දෙතුන් සියයක් වුණත් කියන්න පුඵුවන්. ලංකාවේ සුප්‍රසිද්ධ පාතාලකාරයෝ ඒ කාලේ පොලිස් අත්අඩංගුවට පත්වුණේ ත්‍රීවිල් පාර්ක්වල ඉන්න කොල්ලෝ දුන්න තොරතුරු හින්දයි.ඔය දැන් තියෙන පික් මී, ඌබර් වගේ ටැක්සි සේවා ලංකාවට එන්න ඉස්සර අපි එහෙම සේවාවක් පවත්වාගෙන ගියා. ඒකට කිව්වේ බජට් ටැක්සි. ඒ කාර්යාලය තිබුණේ රත්තනපිටියේ.
ඒ කාලෙ ලංකාවෙ හිටපු බුද්ධි ප්‍රධානියෙක් දවසක් අපේ කාර්යාලයට ඇවිත් අපට ප්‍රශංසා කරල ගියා. ඒකට හේතුව තමයි අපි බඩගෝස්තරය හොයාගන්නවට අමතර රටේ සිද්ධවෙන්න යන අපරාධ පිළිබඳ පොලිසියට බුද්ධි තොරතුරු ලබාදීම. දැන් ඉන්න පොලිසියේ නිලධාරීන් ඒ වගේම පාලකයෝ අපෙන් වැඩ ගන්නේ නෑ. ඒ අය අපෙන් වැඩක් ගන්න තරම් නිහතමානී නෑ. ඒ කාලේ පොලිස් නිලධාරීන් අපෙන් වැඩගත්තා…යුද්ධය වෙලාවේ කොළඹ තිබුණේ පොලිස් බලප්‍රදේශ 17යි. මම මේ කියන්නේ අනූව දශකය ගැන. සෑම ත්‍රීවිල් සංගමයක් එක්කම ඒ අය සම්බන්ධයි. කොල්ලුපිටියේ ත්‍රීවිල් සංගමයේ ලේකම් මම. මම එක සැරයක් පොලිසියට කිව්වා කොල්ලුපිටියේ යම් අපරාධයක්, බෝම්බ පිපිරීමක් සිද්ධ වුණොත් මම දිවි නසා ගන්නව කියල. ඒ තරමට අපට ෂුවර්. යුද්ධය පැවැති කාලය අතරතුර කොල්ලුපිටියේ කිසිම බෝම්බයක් පිපිරුණේ නැහැ. වෙඩි තැබීම් නැහැ. හේතුව තමයි ආරක්ෂක හමුදා එක්ක දිවා රෑ අපි වැඩ කළා. ඔත්තු බැලුවා. ඒ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදුන්නා. ඒ විතරක්
නොවෙයි රෑට තේ ටික පවා අපි ඒ අයට ගිහින් දුන්නා. මේව අද වෙනකම් කවුරුත් දැනගෙන හිටියේ නෑ.අදත් එහෙම තමයි. පාරේ කරන්ට් වයර් එකක් කැඩිල තිබුණොත් ඒ බව මණ්ඩලයට මුලින්ම කියන්නේ අපි. ගහක අත්තක් පාරට වැටිල තිබුණොත් ඒ බව කියන්නේ අපි. දඩාවතේ යන බල්ලන්ට කඩෙන් කොත්තු රොටි අරන් දෙන්නේ අපි. හදිසි අනතුරක් වුණොත් එහෙම නැත්නම් විලිරුදාවෙන් ඇඹරෙන බඩදරු අම්ම කෙනෙක්ව රෝහලට අරන් යන්නේ අපි. විශ්වාස කරන්න, කොළඹ ඉන්න ත්‍රීවිල් රථ රියැදුරන්ගෙන් වැඩි පිරිසක් ඒ වගේ හදිසි අවස්ථාවක සත පහක් ගන්නේ නෑ. කනගාටුවට කරුණ තමයි ඔය කියන මහා සමාජය මේවා නොදැකීම. අන්න එතැන තමයි අවුල තියෙන්නේ…කොල්ලුපිටිය කියන්නේ රාත්‍රී සමාජ ශාලාවලට හරි ප්‍රසිද්ධ තැනක්නේ. මම කාලයක් එක්තරා රාත්‍රී සමාජ ශාලාවක් ළඟ වැඩකළා. රෑට තමයි ත්‍රිවිල් එක දුවන්නේ.සමහර කෝටිපතියෝ හිටියා මේ තැන්වලට නිතර යනවා එනවා. සමහර අය එන්නේ කාර් එකෙන්. ඒ ඇවිත් රෑට ගෙදර යන්නේ බස් එකෙන්. හේතුව තමයි කාර් එකත් උකස් කරල කැසිනෝ ගහනවා. එහෙම ලොකු මහත්තුරු රෑට ඇවිත් ත්‍රිවිල් එකට නගිනවා. අතේ සතයක් නෑ. හයර් එක දෙනවද නැද්ද කියල අදාළ නෑ. අපි ගෙදරට ගිහින් දානවා. දවසක් ඇමෙරිකන් එම්බසිය ළඟ වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. කාටවත් ජීවිත හානියක් නෑ. වෙඩික්කරු වෙඩි තියල දුවල ඇවිත් නගින්නේ මගේ වීල් එකට. අහවල් තැනට යමු කිව්වට පස්සේ මම ගියා. මේකා රාජගිරියේ හෝටලයක් ළඟ නතර කරල මෙන්න තේ බොන්න ගත්තා. ඔය වගේ සිද්ධීන් නම් ඕනතරම් තියෙනවා. මේ රස්සාව ඇතුළේ නිදහස් වගේම පොඩි අවදානමකුත් තියෙනවා. ත්‍රීවිල් රස්සාව කරනව නම් ඒවටත් සූදානම් පිට ඉන්න ඕනා…”
ලලිත් ධර්මසේකර තමන් මුහුණදුන් විවිධ අත්දැකීම් අප හා විස්තර කර සිටින්නේ ඒ ආකාරයෙන්ය. ක්‍රමයෙන් එය රසබර කතාවක් දක්වා දුරදිග යමින් ඇත. ඔහුට බාධා කළ මම ත්‍රිවීල්කරුවා සහ ගනුදෙනුකරුවා අතර පවතින සම්බන්ධය පිළිබඳ විමසන්නට විය. එයට පිළිතුරු ලබාදෙමින් ලලිත් මෙසේ සඳහන් කරන්නට විය.
“ත්‍රීවිල් රස්සාව කියන්නේ මේ වනවිට රට ඇතුළේ උප සංස්කෘතියක් දක්වා දුරදිග ගිය කතාවක්. ගනුදෙනුකරුවන් තමයි අපේ වටිනාම සම්පත. ඒ අය නැත්නම් අපිට ආදායම් නෑ. ගනුදෙනුකරුවෙක් ත්‍රීවිල් එකට ගොඩකර ගන්න එකට අපේ භාෂාවෙන් කියන්නේ ‘දඩයම’ කියල. හැම ත්‍රීවිල්කාරයෙක්ම දඩයමට පොර බදනවා. දඩයමක් ගත්තට පස්සේ එහෙන් මෙහෙන් දාලා අදාළ ස්ථානයට ඒ අයව ප්‍රවාහනය කරනවා. ඕක තමයි අපේ මිනිස්සු දකින්නේ. දඩයම නෙළා ගත්තට පස්සේ තමයි ත්‍රීවිල්කාරයා ඇතුළේ ජීවත්වෙන ඇත්ත මනුස්සයව පේන්න ගන්නේ. තමන්ගේ දවසේ ආදායම කීයද ඒකෙන් කරන්නේ මොකක්ද කියන කෑල්ල සමාජයට පේන්නේ නෑ. හයර් එක ගන්න කෑල්ල විතරයි සමාජයට පේන්නේ. ඒ අනුව අපි ගැන චිත්‍රයක් මවා ගන්නවා. අද ලංකාවේ දරුවන්ගෙන් විශ්වවිද්‍යාලයට යන වැඩි පිරිසකගේ තාත්තල ත්‍රීවිල්කාරයෝ. ඇයි ඒ? තමන්ගේ දරුවාගේ අධ්‍යාපනයත් එක්ක වැඩිපුරම ඇසුරක් පවත්වන්නේ ත්‍රීවිල්කාරයා.
දරුවව ඉස්කෝලෙට දාන්නේ පෞද්ගලික පන්තියට දාන්නේ ඒ වගේම තමන්ගේ දරුවා යන්නෙ එන්නේ මොන මොනවගේ තැන්වලටද කියල හොයල බලන්න අපිට නිදහස තියෙනවා. කන්තෝරුවක රස්සාවක් කරන තාත්තලට මේ නිදහස නෑමේ රස්සාවට එදා ලොකු වටිනාකමක් තිබුණා. නමත් මේ වනවිට ඒ තත්ත්වය වෙනස්. ඒකට හේතුව තමයි පාර්ට් ටයිම් මේ රස්සාව කරන පිරිස ශීඝ්‍රයෙන් වැඩිවීම. කීයක් හරි හොයාගන්න හවසට පාරට බහින පාර්ට් ටයිම් සෙට් එකට ඕන මුදල් විතරයි. බැරිවෙලාවත් ඒකෙ ගමන් කරන කෙනාගේ පර්ස් එක ෆෝන් එක වාහනය ඇතුළෙ වැටිල තිබුණොත් ඒක ආපසු ඒ මනුස්සයට ලැබෙන්නේ නෑ. ඒක ගල් කරනවා. නමුත් වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරා කවදාවත් ඒක කරන්නේ නෑ. හොයාගෙන ගිහින් හරි ඒක භාරදෙනවා.අපිට තියෙන තවත් චෝදනාවක් තමයි ලංකාවේ ක්‍රියාත්මක ගණිකා ව්‍යාපාරයත් එක්ක ත්‍රීවිල්කරුවන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඊළඟට කාව හරි ඝාතනය කළොත් ඒක පිටුපස්සේ ත්‍රීවිල්කාරයෝ ඉන්නව කියනවා. ඕව බොරු කතා.
ගණිකා වෘත්තිය රට ඇතුළේ තියෙනවා නම් ඒ අවශ්‍යතාවය ඇති මිනිස්සු සමාජය ඇතුළේ ඉන්නව නම් ඒ අය ප්‍රවාහන පහසුකම් අපෙන් ඉල්ලනව නම් රටේ තියෙන ගණිකා වෘත්තියට වරදකරුවෝ අපිද? වෙඩි තැබීම් සිද්ධි පසුපස පොලිසිය ඉන්නව නම්බන්ධනාගාර නිලධාරීන් ඉන්නවා නම් ඒකට වැරදිකරුවෝ අපිද? රජයේ ආරක්ෂක අංශ මෙන්න මේ ගැන හිතන්න ඕන. එහෙමනම් ත්‍රීවිල් රස්සාව නියාමනය කරන්න රජය කටයුතු කරන්න ඕන. එහෙම දෙයක් සිද්ධවෙන පාටක් පේන්න නැහැනේ. ඔය කියන මහා සමාජය ශුද්ධවන්තද? ඒ අයවැරදි කරන්නේ නැද්ද? රට බංකොලොත් වෙන්න කලින් මේ රටේ මූල්‍ය සමාගම් පැය 24ක් ඇතළත ත්‍රීවිල් ගන්න ණය දුන්නා. ඇයි ඒ? ඒ අය දන්නවා අපිට ණයක් දුන්නොත් කරදරයකින් තොරවඒ ණය මුදල අයකර ගන්න පු`ඵවන් කියලා. කඩකාරයා අපිට බය නැතිව ණයට බඩු දෙනවා.ඒ අය දන්නවා හවසට ඒක ගෙවල දානව කියල. මාර්කට් එකට එන හොඳම මා`ඵ ටික ගන්නේ අපි. එළව`ඵ ටික ගන්නේ අපි. මොකද රටේ අස්සක් මුල්ලක් නෑර හයර් යන අපි දන්නවා මා`ඵ ගන්න ඕන තැන. එළව`ඵ ගන්න ඕන තැන. ඔය මහා සමාජයේ ඉඳගෙන අපිව විවේචනයකරන මහත්වරුන්ට ඒ වාසනාව නෑ. අවසාන වශයෙන් මම රජයෙන් එක ඉල්ලීමක් කරනවා. මේක පොදු ඉල්ලීමක්. ඒ ඉල්ලීම තමයි මේ වෘත්තියට නියාමනයක් ලබාදෙන්න කියලා. ත්‍රිරෝද රථ සංගම් විදිහට අපි අපේ පැත්තෙන් වෙන්න ඕන සියලු දේ කරල ඉවරයි. උදාහරණයක් අරන් කිව්වොත් ගේ වයරින් කරල ඉවරයි. දැන් තියෙන්නේ මණ්ඩලයෙන් ඇවිත් කරන්ට් එක දෙන එක විතරයි. නමුත් තාම කරන්ට් නෑ. ඒ හින්ද මේ වෘත්තිය තවමත් තියෙන්නේ අඳුරේ. ඕක තමයි ඇත්ත කතාව…මේ වෘත්තිය විධිමත් කරන්න අකමැති පිරිසක් ඉන්නවා. මොකද දැනට තිබෙන අවිධිමත්භාවය ඇතුළෙ ්ආදායම් ලබන පිරිසක් ඉන්නවා. ඒ අය තමන්ට ලැබෙන ආදායම තවදුරටත් පවත්වාගෙන යන්න මේ අවිධිමත්භාවය දිගින් දිගටම නඩත්තු කරනවා. ඔන්න ඕක තමයි ඇත්ත කතාව…”
ලලිත් ධර්මසේකර එසේ සඳහන් කරමින් තමන් එතෙක් වේලා කරන ලද හෙළිදරව්ව නතර කළේය.ඔහුගේ අදහස් දැක්වීම තුළ වැඩිපුර අන්තර්ගතව තිබුණේ ත්‍රීවිල් රථ රියැදුරන්ගේ ඇත්ත කතාව තවමත් සමාජයෙන් වසන්ව පවතින බවය. ඒ බව ඔප්පු කර පෙන්වීම පිණිස ඔහු සතු උදාහරණ බොහෝය. එය අදාළ බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු බව අපගේද විශ්වාසය බවට පත්ව ඇත.මෙම සටහන කියවන ඔබත් ත්‍රිරෝද රථ රියැදුරෙක් නම් ඔබගේද අත්දැකීම්, මුහුණදීමට සිදුවූ විවිධ සිදුවීම් ආදිය රට හමුවේ තැබීමට අප සූදානම්ය.
පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධවෙමින් එම තොරතුරු අප හා පවසන්න. මෙම විශේෂාංගය මෙතැන් සිට ඔබ වෙනුවෙන්ය.
0715-647454 අංකයෙන් අපව අමතන්න.