අලුතින් වාහන ගන්න හිතාගෙන ඉන්න අයට දැනුම්දීමක්

අලුතින් වාහන ගන්න හිතාගෙන ඉන්න අයට දැනුම්දීමක්

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (17) දින නිකුත් කර තිබේ.

2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින් 2025 ජූලි 17 දින නව මාර්ගෝපදේශයන් මෙලෙස මහබැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අනුව 2018 වසරේ මාර්ගෝපදේශයන් හි දැක්වුණු ආකාරයේ ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් හා වෙනත් යනාදී වශයෙන්, බලශක්ති ප්‍රභවය අනුව කර තිබූ වර්ගීකරණයන් මෙම නව 2025 මාර්ගෝපදේශයන් හි ඉවත් කර තිබේ.

ඒ අනුව 2018 මාර්ගෝපදේශයන් අනුව ඉලෙක්ට්‍රික් කාණ්ඩය යටතේ වාහනයේ වටිනාකමින් 90% ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව, වානිජ වාහන වෙනුවෙන් 80%ක්, මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 60%ක් දක්වා ද, ත්‍රීවීල් සඳහා 50% ක් දක්වා සහ වෙනත් වාහන සඳහා 70% ක් දක්වා අඩුකර ඇත.

එසේම ඉලෙක්ට්‍රික් නොවන වානිජ වාහන සඳහා ද මෙතෙක් ප්‍රවේශය හිමිව තිබූ 90% ක මූල්‍ය වහසුකම් ලබාගැනීමේ අවස්ථාව 80% ක් දක්වා අඩුකර තිබෙන අතර, මෙතෙක් ඉලෙක්ට්‍රික් නොවන මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා තිබුණු 50% ණය සීමාව 60% ක් දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම ඉලෙක්ට්‍රික් නොවන ත්‍රීවීල් රථ සඳහා, වටිනාකමින් 25% ක් දක්වා පමණක් මෙතෙක් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට තිබුණු අවකාශය අද සිට 50% ක් දක්වා පුළුල් කර තිබේ.

2018 වසරේ මාර්ගෝපදේශයට අනුව හයිබ්‍රිඩ් මොටර් කාර්, SUV සහ වෑන් රථ සඳහා 70%ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට දී තිබූ අවස්ථාව, එම කාණ්ඩය ඉවත් කිරීමත් සමඟින් පොදුවේ 60% ක් දක්වා පහළට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකළ වාහන සහ පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිතයට ගෙන ඇති සියලු වාහන වෙනුවෙන් මෙම නියමයන් බලපැවැත්වෙනු ඇත.

කෙසේවෙතත් මහ බැංකුව පවසන්නේ අද (2025 ජූලි 18) දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෙරට ලියාපදිංචි නොකළ වාහන වෙනුවෙන් පහත දැක්වෙන ආකාරයෙන් සංක්‍රාන්ති විධිවිධානයන් බලපැවැත්වෙනු ඇති බවයි.

Share This