වසර දෙකක් තුළ තට්ටු 16ක නව සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙස විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලට යාබදව ඉදිකෙරෙන මහල් 16කින් යුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවකදීයි.
එමෙන්ම අදාළ ගොඩනැගිල්ලෙහි මහල් 07ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසයි, අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
2016 වසරේදී වැඩ ආරම්භ කරන ලද මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ අත්හිටුවනු ලැබුවා.
රජයේ අරමුදල් යොදවා නැවත ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය දා ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පරිශ්‍රය වෙත ගොස් ඉදිකිරීම් කටයුතුවලට අදාළ වත්මන් තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා.
එහිදී ඉදිකිරීම් කටයුතුවලට අදාළ කොන්ත්‍රාත් ආයතන වන මධ්‍යම ඉංජිනේරු සේවා (පුද්ගලික) සමාගමේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ නිලධාරීන් සමග ඉදිරි කටයුතු පිළිබඳව ඉතා දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් පෞද්ගලික ගොඩනැගිල්ලක කුලී ගෙවමින් පවත්වාගෙන යනු ලබන අතර, එම බදු කාලය දීර්ඝ නොකර හැකිතාක් ඉක්මණින් එම කාර්යාල මෙම නව ගොඩනැගිල්ලට රැගෙන ඒමට අදාළ මූලික සැලසුම් සකස් කරන ලෙස ද මෙහි දී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව සඳහන්.
එමෙන්ම මෙම සම්පූර්ණ ගොඩනැගිල්ල වසර දෙකකට අඩු කාලයක් තුළ ඉදිකර අවසන් කිරීමට සැලසුම් සකස් කරන ලෙසත් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) අමාත්‍යවරයා මෙහි දී උපදෙස් ලබා දුන් බවයි, එම අමාත්‍යංශය නිවේදනය කළේ.
මෙහිදී මධ්‍යම ඉංජිනේරු කාර්යයන් පිළිබඳ කාර්යාංශය සඳහන් කරන ලද්දේ සේවා සහ පහසුකම් ලබා ගත යුතු අනෙකුත් ආයතන සමග කටයුතු කර මෙම ගොඩනැගිල්ල ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට අදාළ කටයුතු සිදු කරනු ලබන බවයි.