සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට ජාතික උපදේශක කමිටුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට ජාතික උපදේශක කමිටුවක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව ඊයේ (05) පළමුවරට රැස්වුණා.

ඒ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ සම සභාපතිත්ත්වය යටතේයි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා උපායමාර්ග සැකසීම සම්බන්ධ ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලයක් (Think Tank) ලෙස කටයුතු කිරීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනයට සම්බන්ධ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සම්බන්ධීකරණ ප්‍රයත්නයන් සහතික කරමින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා උපායමාර්ගිකව මඟ පෙන්වීම මෙහි අරමුණ වනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වන ජාතික උපදේශක කමිටුවේ ප්‍රධාන අරමුණු පහත දැක්වෙනවා.

• රජයේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහ වර්තමාන සංවර්ධන ප්‍රවණතාවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුව සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම.

• අන්තර්-අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ජාතික සැලැස්ම සංශෝධනය කිරීම, යාවත්කාලීන කිරීම සහ අධීක්ෂණය කිරීම.

• ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යකරණ රාමුවක් ස්ථාපිත කිරීම.

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ඇතිවන අවදානම ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම.

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහායක පරිසරයක් ගොඩනැගීම, තාක්ෂණ හුවමාරුව පහසු කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, වෙළඳපොල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග විසඳීම.

• සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් මුහුණ දෙන ප්‍රධාන මූල්‍ය අභියෝග විසඳීම සඳහා නිර්දේශ සැපයීම.

 

Share This