අපොස උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රය අවස්ථාවේ ගාල්ල ප්‍රසිද්ධ පාසලක විශාල ගැටළුවක්

අපොස උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රය අවස්ථාවේ ගාල්ල ප්‍රසිද්ධ පාසලක විශාල ගැටළුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති ගාල්ල නගරයේ ප්‍රසිද්ධ විදුහලක විභාග මධ්‍යස්ථානයේ අංක2 ශාලාධිපතිවරයා ඊයේ (30) පැවති ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ පිළිතුරු සිසුවෙකු ‍විසින් පිටපත් (කොපි) කරනු දුටු බවට සිසුවියකගෙන් බලහත්කාරයෙන් ලිපියක් ලබා ගැනීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලීසිය පවසනවා.

විභාගය අවසන්වීමෙන් පසු මෙම සිසුවිය සහ තවත් සිසුවෙකු ලඟට පැමිණ ඇති ශාලාධිපතිවරයා ඔවුන් ආසන්නයේ මේසයක සිටි සිසුවෙකු පෙන්වා ඔහු ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රයේ උත්තර කොපි කරනු දුටු බවට ලිපියක් ලියා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී අදාළ සිසුවිය ඊට සිය අකමැත්ත පළකර ඇති අතර එවිට ශාලාධිපතිවරයා විසින් එසේ නොකරනවානම් ගෙදර යාමට ඉඩ නොදෙන බව පවසා සිසුවියට තර්ජනය කර තිබෙනවා.

ඊට බියට පත්වු සිසුවිය ශාලාධිපතිවරයා ලියා පෙන්වන ලද ලිපියක් ඒ ආකාරයටම ලියා අත්සන්කර දී නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පවසා පසුව ඇය පියා සමග පැමිණ මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලුම් තිලකරත්න මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

අහංගම සී එස් ප්‍රියදර්ශනී

Share This