මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට කොරියාවෙන් විශාල පරිත්‍යාගයක්

මෙරට සෞඛ්‍ය සේවාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා සංවර්ධනයට කොරියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 7,200,000ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන “මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන” ව්‍යාපෘතිය යටතේයි.
නවීන තාක්ෂණයෙන් අනූන රුපියල් මිලියන 160 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම සේවා රථ (Mobile Workshop) 08 ක් සහ රුපියල් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ ඊයේ (05) දින සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලබාදී ඇති බවයි, අමාත්‍යංශය නිවේදනය කළේ.
රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් ලබාදී ඇති බව සඳහන්.
මෙම ප්‍රදානය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ කොරියානු රජයේ ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ අරමුණින් ලබා දුන් ප්‍රදානය හුදෙක් මූල්‍යමය දායකත්වයක් පමණක් නොව, ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ අනාගතය සඳහා කරන ආයෝජනයක් බවයි.
එමෙන්ම කොරියානු රජයේ මෙම ත්‍යාගශීලීභාවය ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ මානුෂීය ආධාරවල ඉහළ ම පරමාදර්ශ පිළිබිඹු කරන බව නලින්ද ජයතිස්ස මහතා ප්‍රකශ කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා යටතේ දැනට රෝහල් 50කට අධික ප්‍රමාණයක වෛද්‍ය උපකරණ කළමනාකරණය කරනු ලබන බවත්, ඊට උපකරණ 500,000 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වාදී තිබෙනවා.