විදේශ දුම්වැටි තොගයක් විනාශ කරයි

විදේශ දුම්වැටි තොගයක් විනාශ කරයි

(රුවන් ජයවර්ධන)

පසුගිය කාලය තුල නීති විරෝධී ආකාරයට  මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 1.2කට අධික වටිනාකමින් යුත් විදේශ රටවල නිෂ්පාදිත දුම්වැටි මිලියන 8.7ක් ඊයේ (04 ) විනාශ කරනු ලැබීය.

ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි නීති විරෝධී දුම්වැටි විනාශ කිරීමේ අංගනයේදී මෙම දුම්වැටි තොගය විනාශ කිරීම ආරම්භ කරනු ලැබීය.

ඩුබායි, පකිස්තානය හා චීනය යන රටවල්වලින් ආනයනය කරනු ලැබූ දුම්වැටි මෙලෙස විනාශ කිරීමට කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

‪2024, 2022‬ හා 2018 යන වසරවලදී රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය රේගු විමර්ශනවලින් අනතුරුව රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කිරීමට කටයුතු කල බවද ඒ මහතා කියා සිටියේය.

මෙම දුම්වැටි තොගය රේගු අත්අඩංගුවට පත්නොවී රේගුවෙන් පිටවූවානම් රජයට අහිමිවීමට තිබූ තීරු බදු මුදල රුපියල් බිලියන 1.8කට අධික බවද සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේය.

නීත්‍යානුකූල බදු මුදල් ගෙවීම් ආරක්‍ෂා කිරීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා රේගුව නීති විරෝධී ලෙස රටතුළට ආනයනය කරන දුම්වැටි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පසුගිය වසරේදී ලංකාවේ නිෂ්පාදිත සිගරට් සඳහා නිෂ්පාදිත බදු වශයෙන් රුපියල් බිලියන 141ක් රජයට එකතු කරදී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සංජීව නෝනිස් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගො මහතා ඇතුළු රේගු නිලධාරීන් හා ලංකා දුම්කොළ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටියහ.

Share This