ඇණවුම් කළ සිසිල් බීම බෝතලයේ පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍යක්

එය පානය කළ 18 හැවිරිදි තරුණියක් රෝහල් ගත කෙරේ

ඇණවුම් කළ සිසිල් බීම බෝතලයේ පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍යක්

මෙරට ප්‍රසිද්ධ වෙළෙඳනාමයක් යටතේ අලෙවි වන සිසිල් බීම බෝතලයක් මිලදී ගෙන එය පානය කළ 18 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා.

පසුගිය 31 වැනිදා ඇය සිය මව සමග පිටකොටුව පීපල්ස් පාක් හි අවන්හලකදී ආහාර ගනිමින් සිටියදී මෙම සිසිල් බීම වර්ගය ඇණවුම් කර ඇති බව සඳහන්.

එම සිසිල් බීම බෝතලය සීල් කර තිබී ඇති අතර එය කල් ඉකුත් වීමට ද බොහෝ කාලයක් තිබී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එය පානය කිරීමෙන් පසු ඇයට යම් අසාත්මිකතාවක් හටගෙන තිබෙන අතර ඇය වමනය ද කර තිබෙනවා.

ඒ අනුව වහාම ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නිවැසියන් පියවර ගෙන තිබුණා.

එම අවස්ථාවේදී ඇයගේ තත්ත්වය යම් තරමක් බරපතල වී තිබී ඇති බැවින්, ඇයව ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තරුණියගේ නිවැසින් විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අදාළ ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසිල් බීම බෝතලයෙහි පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය අඩංගුව තිබු බවටයි.

එමෙන්ම අදාළ ආපන ශාලාවේ තවත් එවැනිම බෝතල් කිහිපයක් ද තිබී සොයාගෙන තිබෙනවා.

ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවේ තිබූ හිස් සිසිල් බීම බෝතල්වලට පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය පුරවා එවා තිබීම මෙම අත්වැරදීමට හේතුව බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇති බව සඳහන්.

එම අසාත්මිකතාව හේතුවෙන් රෝහල් ගතකෙරුණු 18 හැවිරිදි තරුණියගේ සහෝදරයා විසින් මේ සම්බන්ධයෙන් මුහුණුපොතෙහි (ෆෙස්බුක්) පෝස්ටුවක් ද පළකර තිබු අතර අනතුරුව එය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා.

උපුටා ගැනීම..

 

“අපේ නංගි බීපු ……….. එකේ තිබ්බෙ ඇසිඩ්.. My sister is currently in the ICU after drinking a sealed, unexpired …………………….. from Mihiri Foods – People’s Park, Colombo. ඊයේ දිනයේ මගේ නංගි සහ අම්මා පීපල්ස් පාක් එකේ මිහිරි ෆුඩ්ස් වෙතින් …………… plastic bottle එකක් අරන් තියෙනවා. එක උගුරක් බීපු ගමන් නංගිට ඇග පිච්චිලා යනවා වගේ දැනිලා, ඊට පස්සේ බෝතලේ වීදුරුවකට වක්කරලා බැලුවම, බෝතලේ තිබිලා තියෙන්නෙ ඇසිඩ් වගේ දියරයක්. නැවත මම කියනවා. මේක සීල් එක කැඩුනු නැති, expire වෙලා නැති, ………… බෝතලයක්. නංගිව අපි ජාතික රෝහලට ගෙනිච්චා. එතනදි දොස්තරලා අපිට කිව්වේ තත්වය මාරාන්තික තත්වයක් දක්වා වර්ධනය වෙලා කියලා. නංගිගේ ඇග ඇතුලේ ඇසිඩික් ගතියට පිච්චිලා. හුස්ම ගන්න බැරි වෙලා, respiratory arrest by corrosive ingestion කියන තත්වෙට ආවා. දොස්තරලා අපිට කිව්වේ ජීවිතේ බේරගන්නනම්, නහය ඇතුලෙන් ඇගට බටයක් දාන්න වෙයි කියලා. කොලඹ ජාතික රෝහලේ හා IDH රෝහලේ වෛද්‍යවරු සහ කාර්‍යමන්ඩලයට ස්තූතිවන්ත වෙන්න, අද උදේ වෙද්දි මාරන්තික තත්වය අඩු වෙලා තියෙනවා. ඒත් මේක ජීවිත හානියකින් බේරා ගැනීමක් විතරයි, මේකෙන් නංගිගේ ඇගට වෙච්ච ඩැමේජ් එක තාම හරියට assess කර ගන්නවත් බෑ, , අවුරුදු 18ක ලමයෙක් විදියට එයාට වෙච්ච trauma එක, හිතාගන්නවත් බැරි තවම්.
…………….. or Mihiri Foods ඔයාලාගෙන් කවුරු උනත් මේ වගේ literal වස supply chain එකට එකතු වෙන්න දුන්න එක මට හිතාගන්නවත් බැරි තරම් අපරාධයක්. අපි ගත්තේ දන්නෙ නැති brand එකක් නෙවෙයි, මිනිස්සු දහස් ගානක් බොන, සීල් කරපු, expire නොවිච්ච, drink එකක්, කාගෙ අතින් උනත්, මනුස්සයෙක් මැරෙ.න්න පුලුවන් මට්ටමේ බෝතල් circulation එකේ තියෙන එක හිතාගන්නවත් බැරි මට්ටමේ අපරාධයක්.මේක අනිවාර්යයෙන් විසදිය යුතුමයි. අපි මේ වෙද්දි consumer affairs එකට කතා කරලා, අදාල PHI මහත්වරුන් සමග පැමිනිල්ලක් දාන ගමන් ඉන්නේ. මම අදාල photos / videos කිහිපයක් පහල අමුනනවා.
ඔය batch එකේ මාරා.න්තික බීම කොච්චර කඩවල් වල තියෙනවා ඇත්ද??
You guys need to get your shit together. This is unbelievable. There’s drinks out there that you made with lethal substances that kill people. This is a public health hazard. Check your quality control, interally audit, Hold whoever is accountable, I dont care how, just do justice to what happened.”

උපුටා ගැනීම අවසන්..

 

කෙසේ වෙතත් මේ වන විට ඇය සාමාන්‍ය වාට්ටුවක සුවය ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදාළ සුප්‍රසිද්ධ ආයතනය විසින්ද නිවේදයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ අදාළ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා වෙත කණගාටුව සහ ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවයි.

එය බරපතල ගැටළුවක් ලෙස සළකා ක්‍රියා කරන බවත්, තම ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට යටත්ව සිදුකරනු ලබන නිෂ්පාදනයක් බවත් එහි සඳහන් කර තිබෙනවා.

අදාළ බෝතලයෙහි සිසිල් බීම නොතිබූ බවත්, එය වෙළෙඳසැලෙහි නොසැළකිල්ල හේතුවෙන් සිදුවූ බවටත් මේ සම්බන්ධයෙන් සිදුකළ පුළුල් පරීක්ෂණයේදී අනාවරණ වු බවයි එම නිවේදනය මගින් දැනුම් දී ඇත්තේ.

සිය නිෂ්පාදනවල ප්‍රමිතිය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවද ඔවුන් දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුවන බැවින් වැරදි තොරතුරු ප්‍රචාරණය කිරීමෙන් වළකින ලෙසයි එම ආයතනය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

Share This