අමාත්‍යවරුන්ගේ වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

අමාත්‍යවරුන්ගේ වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වනු ඇති.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර තිබෙනවා.

සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව ඇති අතර එම උපදේශකවරුන් විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තියවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයන් විය යුතු බවයි අදාල චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.

එම පත් කිරීම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවද එහි සඳහන් වනවා.

අමාත්‍යවරුන්ගේ පූර්ණ කාලීන උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනකු නොඉක්මවිය යුතු බවද ඔවුන්ගේ වැටුප්, දීමනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව විය යුතු බවද එහි දක්වා ඇති බව සඳහන්.

ජනවාරි 6 වෙනිදා සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයේ පිටපත් අග්‍රාමාත්‍ය ලේකම්,අමාත්‍ය මණ්ඩල ලේකම්, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශශ ලේකම්,රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් සහ විගණකාධිපති වෙත යොමු කර තිබෙනවා.

Share This