ගාසා මානුෂීය පදනම වහාම වසා දමන ලෙසට ඉල්ලීමක්

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සහාය දක්වන ගාසා මානුෂීය පදනම වහාම වසා දැමිය යුතු බව රාජ්‍ය නොවන සංවිධාන 130කට වැඩි ප්‍රමාණයක් එක්ව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලීම පැමිණෙන්නේ ගාසා මානුෂීය ආධාර මධ්‍යස්ථානය ආසන්නයේදී සිදුවන මරණ සහ මත්ද්‍රව්‍ය මිශ්‍ර ආධාර බෙදාහැරීම පිළිබඳව ඇතිවී ඇති දැඩි චෝදනා හේතුවෙනි.
ගාසා මානුෂීය ආධාර පදනම ආරම්භ වූයේ 2025 මැයි මාසයේදීය. එය ආහාර සහ ආධාර බෙදාහැරීම් සඳහා විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වුවද, පලස්තීන වැසියන් 549කට අධික පිරිසක් එම මධ්‍යස්ථානය ආසන්නයේදී ඝාතනය වී ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අදාළ චෝදනා අතරින් බරපතළම කාරණය වන්නේ ගාසා මානුෂීය පදනම විසින් බෙදාහරින ලද පිටි බෑග්වලට Oxycodone වැනි මත්ද්‍රව්‍ය මිශ්‍ර කර තිබීමයි. ගාසා මාධ්‍ය කාර්‍යාලය පවසන්නේ මෙය සමාජය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමක් ඇති කරමින් එය විනාශ කිරීමට ගෙන යන උත්සහයක් ලෙසයි.
ඒ අනුව ගාසා මානුෂීය පදනම යනු මානුෂීය මූලධර්ම උල්ලංඝනය කරන ආයතනයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බොහෝ ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙති. තවද මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධ ලෙස සලකා බැලිය හැකි බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අනතුරු අඟවයි.
සඳුනි තිලකරත්න