26 හැවිරිදි තරුණයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
26 හැවිරිදි අවිවාහක තරුණයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (10) ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළා.
ඒ, බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු වීමෙන්.
දේව රාජා ලෝරන්ස් නමැති මොහු 2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිතුරෙකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබු අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරයා නියෝග කළා.