හීන අත්හරින කාටත්, රශ්මි නිමේෂාගෙන් අපූරු පාඩමක්
හැමදේම තිබිලත් සෑහීමකට පත්නොවී, නැති දේවල් ගැනම මැසිවිලි නඟන අය අපි අතර කෙතරම් නම් ඉන්නවද.
එහෙම මැසිවිලි නඟන අය වෙනුවෙන්ම ,අහිමි වීම් ගැනම හිත හිත දුක්වෙන අය වෙනුවෙන්ම ලියවුණු අපූරු සටහනක් අපේ ඇස ගැටුණා.
සටහන තබා තිබුණෙ, රශ්මි නිමේෂා ගුණවර්ධන.
ඔබට ඇයව හොඳින්ම මතක ඇති.
රශ්මි නිමේෂා ගුණවර්ධන කියන්නෙ ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපන ලැබූ දෑත් සහ පාදයක් අහිමි නමුත් හිත හයිය දිරිය දියණියක්.
ඒ හිත කොච්චර හයිය ද කියනවා නම්, ඈ උසස් පෙළ විභාගයට වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිට ”ඒ සාමර්ථ” තුනක් හිමිකර ගැනීමට සමත්කම් දක්වනවා.
සාමාන්‍ය පෙළ විභාගයට ද A සාමර්ථ 8ක් සහ B සාමර්ථයක් ලද දක්ෂ දියණියක් ඈ.
ගායනය ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රැසකටත් දක්ෂ රශ්මි නිමේෂා, ඒක පුද්ගල සංගීත සංදර්ශන කිහිපයක් ද පවත්වා තිබෙනවා.
එවන් දස්කම් රැසක් කරපින්නා ගත් ඇය, මේ වෙද්දි කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබනවා.
ඉතින්, කෙතරම් අපහසුකම් දැනුනත් ඒවාට ඉස්සර වෙන්න ඉඩක් නොතියාම,,, හීන වෙනුවෙන් කැපවුණු සිය ජීවිත කතාවෙන් රශ්මි තබා තිබූ ඒ අපූරු සටහනයි මේ…
“Miracle Girl”
එහෙම කිව්වේ මට.
මට එහෙම කිව්වේ, ඒ නම මට දුන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්.
ඔයාට සල්ලි නැති එක, ආදරේ කරපු කෙනා දාලා ගිය එක, විභාගයක් ෆේල් උන එක තමයි මනුස්සයෙක්ට වෙන්න පුළුවන් නරක ම දේ කියලා ඔයා හිතනවා නම්, ඒ නිසා ඔයාගෙ මුළු ජීවිතේ ම ඉවරයි කියලා ඔයා හිතනවා නම් ඔයා වැරදියි.
මොකද, හෙන ගැහුවත් දරගන්න මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ජීවිතේ අඩියටම වැටුනත් වැටුනු තැනින් නැගිටලා ජීවිතේ දිනන මිනිස්සු ඉන්නවා.
තමන්ට කාත් කවුරුත් නැති උනත් තමන්ව විශ්වාස කරලා මේ මහ පොළොවෙ හරි ලස්සනට පැළවෙන මිනිස්සු ඉන්නවා.
ඒ වගේම තමන්ට මොන දේ නොලැබුනත් ලැබුන දෙයින් සතුටු වෙලා ලෝකෙම දිනන්න උත්සාහ කරන මිනිස්සුත් ඉන්නවා. මාත් එයින් එක්කෙනෙක්.
මං උසස් පෙළ ලිව්වේ 2021. විභාගෙට මාස කීපෙකට කලින් මට දරුණු කකුලේ කැක්කුමක් හැදෙනවා.
මොකද මං අකුරු ලියන්නේ කකුලෙන් නිසා. අතින් අකුරු ලියන දාහක් මැද්දේ කකුලෙන් අකුරු ලියන එක ම කෙනා වෙන්න තරම් හයිය හිතක් මට තිබුණා. තියෙනවා.
මොන අපහසුතාවය තිබුණත් මං ඉගෙනීම අඩාල කලේ නෑ. කකුල රිදෙනවා, මට අමාරුයි කියලා ලියන එක නැවැත්තුවා නම්, මගේ හීන? මාව ලස්සනට ලෑස්ති කරවලා කවලා පොවලා ඉස්කෝලෙට ක්ලාස් එකට යවන මගෙ අම්මිගෙ හීන? ක්ලාස් ඉවර වෙනකම් උදේ 8 ඉදන් හවස 5 වෙනකම් ක්ලාස් එකෙන් එලියේ ඉදන් මං එනකම් බලන් ඉන්න මගෙ අප්පච්චිගෙ හීන? තමන්ගෙ වැඩත් කැප කරගෙන මට හයියක් වෙන මගෙ අක්කිගෙ හීන? ඒවා හීන ම විතරක් වෙන්න ඉඩ තිබ්බා.
ඒ නිසා මට විවේක ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒත් විභාගෙට කලින් කකුල සනීප කරගත්තෙ නැත්තම් මට හරියට විභගෙ ලියන්න වෙන්නෙ නෑ.
ඒ නිසා කකුලට ප්‍රතිකාර ගන්න ඩොක්ටර්ස්ලාව හොයාගෙන ගියා.
ඒ අතරින් කෙනෙක් තමයි කලින් කිව්ව ශල්‍ය වෛද්‍යවරයා. ප්‍රතිකාර අරන් විභාගෙ ලියලා ප්‍රතිඵල ආවට පස්සේ ඒ A3 ක ප්‍රතිඵලයත් අරන් ඒ ආදරණීය ඩොක්ටර් ව බලන්න ගිය දවසේ ඩොක්ටර් මගෙ Phone number එක සේව් කරගත්තෙ “Miracle Girl” කියලා.
ඇත්ත. ජීවිතේ ආශ්චර්යයන්, හාස්කම් සිද්ධ වෙන්න පුළුවන්.
හැබැයි ඒ ආශ්චර්යයන්, හාස්කම් පිටිපස්සෙ තියන්නෙ අසීමිත දරාගැනීම්, අනේකවිධ දුක් ගැහැට, අප්‍රමාණ උත්සාහයන් සහ කැපකිරීම් ම පමණයි.
අඩන්න හේතු දාහක් හොයාගන්න පුළුවන්කම තිබිලත් ජීවිතේ අත් හරින්න හේතු හොයාගන්න පුළුවන්කම තිබිලත් අද මං කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනගන්නේ මගෙයි මගේ ආදරණීය දෙමව්පියන් සහ සහෝදරියෙගේ අසීමිත කැපකිරීම්, දරාගැනීම් නිසා.
ඉතින්, ජීවිතේට කඩාවැටීම්, නොලැබීම්, ප්‍රශ්න, අභියෝග ලැබෙන්නෙ ඔයාට ජීවිතේ අත් හරින හැටිවත් පරාද වෙන හැටිවත් කියලා දෙන්න නෙමෙයි.
හෙන ගැහුවත් හිනාවෙලා දරාගෙන ඉස්සරහට ම යන්න පුළුවන් ශක්තිමත් මනුස්සයෙක් වෙන හැටි කියලා දෙන්න.
ඔයාගෙ ජීවිතෙත් ඔයා නොහිතන ආශ්චර්යයන් සිද්ධ වෙයි. එතකල් ඔයාගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න.
මොකද, ගිනි කාශ්ටක ඉඩෝරෙත් පතොක් මල් පිපෙනවා.
-Rashmi Gunawardhana”