අපරාධවලට ලබදෙන යතුරු පැදි තුනක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 27 සහ 32 හැවිරිදි දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළා.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත යතුරුපැදි ලබාදෙන ස්ථානයක් පිළිබඳව පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව ඔවුන් දෙදෙනාගේ නිවෙස්වල සඟවා තිබූ යතුරුපැදි තුනක් පොලිස් භාරයට ගත් අතර ඒවා කුලියාපිටිය, හෙට්ටිපොළ සහ මාදම්පේ ප්‍රදේශ වලින් සොරාගෙන තිබූ අතර ඉන් එක් යතුරු පැදියක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසනවා.
දැනට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ” කළණ ” නැමැත්තා විසින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර ඔහුගේ උපදෙස් ලැබුණු සැණින් නියම කරන මුදල ලබාගෙන කුලී පදනම මත මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා මෙම යතුරුපැදි ලබාදීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වනවා.
මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු ” කළණ ” නැමැත්තාගේ අපරාධ ජාලයට අයත් අවි ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන බන්ධනාගාර ගතව සිට නිදහස්ව ආ පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කුලියාපිටිය පොලීසියට භාරදීමට නියමිතයි.