ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 යි – ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 යි

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 යි – ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 යි

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක්, ඊයේ (ජනවාරි 21) පස්වරුවේ තරංගනී සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් සම්පූර්ණ වීමද සමරනු ලැබුවා.

මෙම සුවිශේෂී අවස්ථාවට විෂය භාර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරාණි, ප්‍රියංකර පෙරේරා ඇතුළු මෙරට කලාවේ ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලා තරු රැසක් ද සහභාගීව සිටියා.

සැමරුම් උත්සවය ආරම්භ වූයේ, අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා විසින් ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීම සඳහා පුරෝගාමී වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයට පුෂ්ප උපහාර දැක්වීමෙන් අනතුරුවයි.

පසුව ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමාව පිළිබඳ වූ හරවත් දේශනයක් පවත්වනු ලැබුවා. ඒ ‘සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමෙහිලා, අධ්‍යයතන සිනමාවේ කාර්ය භාරය’ යන මාතෘකාව යටතේ යි.

මෙම සුවිශේෂී සංවත්සර සැමරුමේදී මෙරට කලාව පෝෂණය කිරීමෙහිලා සිය අනුපමේය දායකත්වය ලබාදුන් ප්‍රවීණ සිනමා කලාකරුවන් තිදෙනෙකු ඇගයීම ද සිදු කෙරුණා.

ඒ අනුව සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පි ආචාර්‍ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායන ශිල්පි සහ රංගන ශිල්පි ප්‍රියංකර පෙරේරා සහ ප්‍රවීණ සිනමා නිළි වසන්ති චතුරාණි යන මහත්ම මහත්මීන් තිදෙනා යි.

එමෙන්ම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද සුවිශේෂීයි.

සංවත්සර උත්සවයේ තවත් විශේෂ අංගයක් ලෙස චිත්‍රපට සඟරාව විශේෂ කලාපය එළිදැක්වීම (2025 පළමු කලාපය) මෙන්ම සංස්ථා ප්‍රකාශනයක් ලෙස සිනමා ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදු කෙරුණා. ‘වාර්තා චිත්‍රපට වංශය’ නම් එම ග්‍රන්ථය රචනා කරන ලද්දේ කතුවර නාමල් ප්‍රසන්න මහතා විසිනි.

සංවත්සර උත්සවය පැවැත්වීමට පෙර දිනයන් තුළ, විශිෂ්ට සිනමා කෘතීන් කිහිපයක් නොමිලයේ නැරඹීමට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙරට සිනමා ප්‍රේක්ෂකයින් හට අවස්ථාව සලසාදී තිබීම ද විශේෂය.

මෙම උත්සවයේදී සභාව ආමන්ත්‍රණය කළ ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතා විසින් චිත්‍රපට සංස්ථාව මඟින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු රැසක් පිළිබඳව ද දැනුම් දී සිටියා.

ජාතික සිනමා අරමුදලක් පිහිටුවීම, කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල, ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීම, චිත්‍රපට ශාලා නොමැති ප්‍රදේශවල ආසන 50කින් යුක්ත සිනමා ශාලා නිර්මාණය කිරීම, බස් රථයක් සිනමා ශාලාවක් ලෙස සංවර්ධනය කරමින් ‘ජංගම සිනමා ශාලා’ අත්දැකීම ලබාදීම, පාසල් සිනමා පර්ෂද පිහිටුවීම යනාදිය ඒ අතරට අයත්.

එමෙන්ම සභාපතිවරයා සඳහන් කර සිටියේ තිරගත වීමට නියමිතව ඇති ‘චිත්‍රපට පෝළිම්’ සඳහා ද නිසි විසඳුම් කාලයත් සමඟ ලබාදෙන බවයි.

සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සභාව අමතමින් අවධාරණය කර සිටියේ, ඉතිහාසයේ ප්‍රථම වරට ජනතාවගෙ වුවමනාවත් පාලකයන්ගේ අපේක්ෂාවත් සමපාතව ඇති කාල වකවානුවක, හීන හැබෑ කරගැනීම කළ නොහැකි කාර්‍යයක් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”…..අපේ ජීවිතවල නොවිසඳුණු ගැටළු ටික අපි ඉතා ඉක්මනින් විසඳගන්න,
ලංකාව නිසි මඟකට ගන්න තමයි අපේ මැදිහත්වීම සිද්ද වුණේ. මේක කරගන්න බැරි වැඩක් නෙවෙයි.
චිත්‍රපට විෂය සම්බන්ධව නොවිසඳුණු ගැටළු රැසක් පාර්ලිමේන්තුවේදී එවකට මන්ත්‍රීවරයෙක් වුණු අනුර දිසානායක සහෝදරයා කතා කරපු හැටි මේ හැන්සාඩ් වාර්තාවේ තියෙනවා.
ඔහු ඇසූ ප්‍රශ්නවලට එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වුණු කෙහෙළිය රඹුක්වැල්ල දීපු උත්තරත් මේකෙ තියෙනවා.
මේක බෝර්ඩ් අල්ලලා කෑගහලා කියන්න දෙයක් නෙවෙයි. අපි ආවේ ඒකට තමයි.

අප අමාත්‍යවරුන් හැටියට කටයුතු කරන සියලුදෙනාගෙ අමාත්‍යංශවල තියෙන්නෙ සමහරවෙලාවට ඒ ඇමතිවරුන්ට වඩා දෙගුණයක් තුන් ගුණයක් වඩා වයස පනත් කෙටුම්පත්.
ඒවත් එක්ක කිසිවක් කරන්න බෑ. ඒ නිසා මේවා නැවත සලකා බලන්න කාලෙ හරි.
දේශපාලකයෙක් හැටියට පොරොන්දු පුනරුච්ඡාරණය කරමින් කතා කරන එක මටවත් මගෙ දේශපාලන ව්‍යාපාරයටත් පුරුදු නෑ.

දැන් ලංකාවේ පළවෙනි වතාවට ඔබේ වුවමනාව, අපේ වුවමනාව බවට පත්වෙලා තියෙනවා.
අප අතරෙ අපේ අවශ්‍යතාවල පරතරයක් නැති නිසා මේ හීනය ඇත්තටම හැබෑ කරගන්න පුළුවන්….”


සටහන : නඳුනි ආරියවංශ
ඡායාරූප : ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව

Share This