වරායේ තදබදයට හේතුව ඇමති බිමල් හෙළි කරයි

වරායේ තදබදයට හේතුව ඇමති බිමල් හෙළි කරයි

වරායේ තදබදය අවම කරගැනීම සඳහා බහාලුම් පරීක්ෂාවට බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් අක්කාර දෙකක අංගනයක් කඩිනමින් සකසක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පෙරවරුවේ කෙරවලපිටියේ පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින්.

රජයක් ලෙස තමන් ඉතා සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා කියාසිටියා.

“රජයක් හැටියට අපි ඉතාම සැලසුම් සහගතව, වේගයෙන් වැඩකටයුතු කරගෙන යනවා. ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් තිබෙනවා. අපි ඒ වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා. නමුත් අපට විශාල ගැටලු තිබෙනවා.

වරාය සහ රේගුවේ කකුල් සැටගහලා එල්ලලා තියෙන්නේ පරණ පව්. කලින් රජයන් විසින් මේ ගැටලු වලට විසදුම් දුන්නානම්, අද මේ ගැටලු ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම විනය හදලා නැහැ. සමහර පෞද්ගලික සමාගම්වල නියෝජිතයන් එන්නේ දවල් 11ට, 12ට. 90 ගණන්වල නීති තවමත් පවත්වගෙන යනවා.

මේ පරණ වැරදි නිසා අපි යමක් ආරම්භ කරන්නට යාමේදී , විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවනවා. වැරදි කරපු අය ජනතාවට කියන්නේ නව රජය පත්වෙලා මාස දෙකක් වෙනවා, නමුත් කරපු දෙයක් නැහැ කියලා. නමුත් අපි මේ මාස දෙකට අවුරුදු දෙකක වැඩ කරලා තිබෙනවා. රාජපක්ෂලා, වික්‍රමසිංහලා කරපු වංචා දූෂණ නිසයි රටේ සංවර්ධනය මේ තරමට අඩාල වෙලා තිබෙන්නේ.

අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රේගු බහාලුම්  ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වනවිට හඳුනාගත් හදිසි ගැටලු රාශියක් තිබෙනවා. පරීක්ෂා කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් නොමැතිකම,රාත්‍රී කාල වලදී පරීක්ෂණ කටයුතු සිදු කරන්නේ නැහැ. ලොරි රථ රියදුරන් වරායෙන් නිදහස් කල බහාලුම පවා වරාය තුල බොහෝ වෙලාවක් රඳවාගෙන සිටිනවා, ඒ වගේම ස්කෑන් යන්ත්‍රවල අඩුපාඩුකම් තිබෙනවා.

රතු මුහුදේ තත්ත්වය ලෝකයට විනාශයක්, නමුත් එය ව්‍යාපාරික වශයෙන් අපට වාසියක්. වරාය තුළ ඇතිවූ තත්තවය සමනය කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව සමහර ආයතන කටයුතු කළත්, බොහෝ දෙනෙක් ඒ උපදෙස් අනුව කටයුතු නොකරන බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි. 

පැය 24 කටයුතු කරන බව කිව්වත් එසේ වන්නේ නැහැ. ඒ වගේම වාහන ගාල් කිරීම වෙනුවෙන් පැලියගොඩ ස්ථානයක් සැකසුවත්, කන්ටේනර් රියදුරන් එම ස්ථානයේ තම වාහන ගාල් කරන්නේ නැහැ. ඔවුන් තවමත් වරාය තුල වාහන ගාල් කරනවා.ඒ වගේම නැව් ආයතනවල වාප්පු ලිපිකරුවන් ඇවිත් තමන්ගේ බහාලුම් නිදහස් කරගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වුවත්, මේ වනතෙක් ඔවුනගෙන් අපට නිසි සහාය ලැබුනේ නැහැ. මෙය වරායේ වගකීමක්ම නොවෙයි. වරාය කියන්නේ පවුලක්. ඒ නිසා ඒ පවුලට අයත් සියලු දෙනා මේ සඳහා කැපවිය යුතුයි.

ජනවාරි 31 දක්වා අපි අධීක්ෂණය කරනවා. ඒ දක්වාත් අදාළ පිරිස් වෙතින් සහායක් නොලැබෙනවානම්, අපි ඇත්ත තත්වය ජනතාවට හෙළිකරනවා.ආණ්ඩුව කැප වෙනවානම්, අනෙක් අයගේත් කැපවීම අත්‍යාවශ්‍යයි.

බලුමැන්ඩල් ප්‍රදේශයෙන් අක්කර 02ක් ලබා දෙනවා.ජනවාරි 31 වනවිට මෙය රේගු කටයුතු පහසු කිරීමට සංවර්ධනය කිරීම පිණිස හඳුනාගත් ස්ථානයක්. මෙතැන අක්කර 20කට අධික ප්‍රමාණයක් තිබෙනවා. නීත්‍යානුකූල අයිතිය තිබෙන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, වරායේ දැනට ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ, මෙම ස්ථානය වඩාත් වැදගත් වන්නේ කන්ටේනර් පරීක්ෂණ කටයුතු සඳහායි. මේ ඇතිවී තිඛෙන තත්වයට පැලැස්තර නොදමා මධ්‍යකාලීන විසඳුමකට යන්න අපි තීරණය කරලා තිබෙනවා.

ඒ සඳහා සුදුසු තැන මෙම ස්ථානයයි. මේ වනවිට පරිසර තත්ව වාර්තා ආදී සියල්ල සිදුකර අවසන්. ඒ නිසා ඉතාම ඉක්මණින් රේගු පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන මධ්‍යස්ථානයක් ගොඩනගනවා. එමගින් වරායේ දැනට ඇතිවී තිබෙන ප්‍රශ්නවලට හැකි ඉක්මණින් මධ්‍යකාලීන විසඳුමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Share This