කුරුළු වෙඩිල්ලක් පත්තු වී, ගුවන් තොටුපොළ සේවකයින් තිදෙනකුට තුවාල
කැබ් රථයකටත් අලාභ හානි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ, ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සඳහා එල්ල කළ, අහස් කූරු වර්ගයට අයත් පුපුරණ ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් තොටුපොළ නිළධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එලෙස තුවාල සිදුව තිබුණේ, කටුනායක ගුවන් තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙක්.
ඔවුන් ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේ.
අද (20) දහවල් 11.45ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක්, ගුවන් ගමන්වලට බාධා වන අයුරින් පියාසළමින් සිටින බවට කටුනායක ගුවන් තොටුපොළ සත්ත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන්ට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එම නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස්, එම පක්ෂි රංචුව පළවා හැරීම සඳහා අහස් කූරු වැනි පුපුරණ ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක්, එම පක්ෂි රංචුව දෙසට එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම වෙඩිල්ල ඉහළ අහසේ නොපිපිරී යළිත්, එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී ඇති බව සඳහන්.
ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් එම රථය තුළ තිබී ඇති අතර, ඒවා ද, එකවරම පිපිරීමට ලක් වීමෙන්, හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.
ඒ සමගම කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගින්න මැඩ පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම සිදුවීමෙන් අදාළ නිලධාරීන් තිදෙනාට මෙන්ම ඔවුන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදුව තිබෙනවා.