මැතිවරණයේදී වැඩි වශයෙන් උඩට එන වෛරී ප්‍රකාශන

මැතිවරණයේදී වැඩි වශයෙන් උඩට එන වෛරී ප්‍රකාශන

වෛරී කථනය යන්න කුමක්දැයි නිශ්චිත නිර්වචනයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් නොකර ඇති පසුබිමක ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය, ලිංගික නැඹුරුතාව, සමාජ තත්ත්වය, භාෂාව, අධ්‍යාපනය ඇතුළු තවත් කරුණු පදනම් කරගනිමින් සිදු කරනු ලබන අපහසාත්මක ප්‍රකාශ ඊට ඇතුළත්‌වේ. ශ්‍රී ලංකාවේ මැතිවරණ කාලය තුළ සෙසු කාලසීමාවට වඩා වැඩි වශයෙන් වෛරී කථනයන් දැකගත හැකියි. විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම ඉහළ යාමත් සමඟ මැතිවරණ කාලයේදී වෛරී ප්‍රකාශයන් සමාජ ගතවීම අධිකවී තිබේ. ඒ ඔස්සේ සිදු කරන වෛරී කථනයන් මෙරට සිටින සංඛ්‍යාත්මක සුළුතර ප්‍රජාව වන දෙමළ සහ මුස්ලම් ජනතාව ඉලක්ක කරමින් සිදු කරන ආකාරය දැකගත හැකිය.

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරන වෛරී කථනවල නව වර්ධනයක් 2015 මහමැතිවරණයේදී දැකගත හැකි වූ බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ වී ඇත. එහිදී සමාජ මාධ්‍ය දේශපාලන ප්‍රචාරණයේදී හා මැතිවරණ ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී මෙවලමක් ලෙස යොදා ගැනිණ. සමාජ මාධ්‍ය වේදිකාවන් අතරින් වඩාත්ම භාවිත කරගෙන ඇත්තේ, ෆේස්බුක් අඩවියයි. සමාජ මාධ්‍ය තුළදී අදහස් පළ කිරීමේ නිදහස වඩාත් නිදහසේ භාවිත කළ හැකිවීම ද අපේක්ෂකයන් ඉලක්ක කර ගත් වෛරී හා අපවාදාත්මක තොරතුරු පරීක්ෂාවකින් තොරව ප්‍රකාශයට පත් වීමට හේතු විය. අපේක්ෂකයන්ගේ ජනවාර්ගිකත්වය, ආගම හා ස්ත්‍රී පුරුෂ භාවය ඉලක්ක කරගෙන වෛරී කථන ප්‍රවර්ධන කෙරුණු බව සඳහන්.

වෛරී කථන මඟින් 2015 වසරේ ඡන්දදායකයන්ගේ මනාපය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කළ බවක් සිය අධ්‍යයනයෙන් අනාවරණ නොවූ බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කරයි. එසේ වූව ද, මාර්ගගත ක්‍රමයෙන් වර්ගවාදය, අන්තවාදය හා ස්ත්‍රී-පුරුෂවාදය පදනම් කර ගත් වෛරී කථනය පරීක්ෂාවට ලක් නොවී ප්‍රකාශයට පත් වීමෙන් ඇති වන බරපතළ බලපෑම්වලට ගොදුරු වන තරුණ අනුගාමිකත්වය වර්ධනය වී ඇත. එහි බලපෑම 2019 සහ 2021 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී අත්දැකීමට හැකි වූ බවට ද සමාජ විද්‍යාඥයින් අවධාරණය කරති.

එම කාලයේදී ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි හුවමාරු වූ අසත්‍ය සහ වෛරී ප්‍රකාශන පාලනය කිරීමට අවශ්‍ය සහය මෙටා (Facebook) සමාගමෙන් ඉල්ලා සිටියේ, ඉන්දියානු මහා මැතිවරණයේදී අසත්‍ය තොරතුරු හුවමාරු කරන සහ අනන්‍යතාව පැහැදිලි නොවන ගිණුම් මිලියන ගණනක් අත්හිටුවීමට කටයුතු කර තිබූ පසුබිමකය. ඒ අනුව සමාජ මාධ්‍ය වේදිකා භාවිත කරමින් එලෙස හැසිරෙන, තහවුරු කළ නොහැකි ගිණුම් යාවත්කාලීන වීම පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිසම Facebook සමාගමේ සහය ඉල්ලා තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එවක මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියානු මහ මැතිවරණයේදී දැක්වූ මැදිහත්වීමට සමාන මැදිහත්වීමක් ශ්‍රී ලංකාව කෙරෙහි ද දක්වන බවට Facebook සමාගම තමන්ට සහතික වූ බවය. ‍

මැතිවරණයේදී යම් පක්ෂයක් හෝ ස්වාධීනව තරග කරන පුද්ගලයෙකුට තවත් පාර්ශවයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් එල්ල කරන චෝදනාවක් හෝ මඩ ගැසීමක් පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළ හැකි විය. එහිදී සභාපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් අදාළ පැමිණිල්ල සලකා බලා ඒ පිළිබඳව සිය අවසන් තීරණය Facebook ආයතනයට දැනුම්දී අවසන් තීරණය ගනු ලැබූ බව සඳහන් වෙයි. කෙසේ‌ වෙතත් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය අගතියට පත් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය භාවිත නොවී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තුළ සමාජ මාධ්‍ය මතින් ඇති කරන ලද බලපෑම ප්‍රධාන වශයෙන් එල්ල වුණේ 2015 සිට. ඒකේ හොඳ සහ නරක යන දෙපැත්තම තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක ඩිජිටල් අවකාශය තුළ ඉතාමත් හිතකර තත්ත්වයකට ළඟා කරගන්න පුළුවන් වුණා. නමුත් අපි දුටුව දේ තමයි 2015 සිට යම් ආකාරයකට නිශේධාත්මක අහිතකර ආකාරයක බලපෑම් මත්තේ තමයි ක්‍රියාවට නැංගුණේ. කෙසේ වෙතත් වසර 2015න් අනතුරුව වසර 2019 පැවැති ජනාධිපතිවරණය සහ 2020 පැවැති පාර්ලිමේන්තු මැතිවරණවල විශේෂයෙන් සමාජ මාධ්‍යවල බලපෑමට මැතිවරණ යම් ප්‍රමාණයකට නතු වුණා. වෙන රටවල් හා සාපේක්ෂව ගත්තාම සංවර්ධිත රටවල් විශේෂයෙන්ම අමෙරිකාව වැනි රටක කේම්බ්‍රිජ් ඇනලටිකා වැනි ආයතන හරහා සම්බන්ධව මැතිවරණ ක්‍රියාවලිය අගතියට පත් කිරීම සඳහා සිදු වූ මහා පරිමාණ ක්‍රියාවලින් පිළිබඳව සලකා බැලීමේ දී ලංකාව‌වේ ඉතාමත් ශුද්‍ර මට්ටමකින් තමයි ක්‍රියාවට නැගුණේ. විශේෂයෙන් 2019 වසරේදී ජාතිවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය ජාල බොහෝසෙයින් හේතු වුණා.”

මැතිවරණ කොමිෂන් සභාව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වෛරී කථනයන් පාලනය කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒවායේ සාර්ථකත්වයට සම්බන්ධයෙන් සැකයක් මතු කරයි. මැතිවරණයට පෙර සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය වේදිකාවල වෛරී කථනයන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි විය.

එම මැතිවරණ කාලයේදී දේශපාලන වේදීකාවේ ද විශාල වශයෙන් වෛරී කථනයන් ඉදිරිපත් කෙරුණි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවකින් වෛරී කථන 11ක් හඳුනාගෙන ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව ඉලක්ක කරමින් සිදු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් පෙර පැවැති ජනාධිපතිවරණයට සාපේක්ෂව මහමැතිවරණයේදී වෛරී කථනයක් අඩු වූයේ, රට තුළ පැවැති කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පනවා තිබූ ඇතැම් සීමාවන් හේතුවෙන්ය. ආරම්භයේදී වෛරී කථනයන් ඉදිරිපත් නොවූ අතර ඡන්ද උණුසුම තීව්‍ර වීමත් සමඟ එම ප්‍රකාශ ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකි බව සඳහන්. Facebook සමාජ මාධ්‍ය තුළ අදාළ ප්‍රකාශනයන් අඩු වීමක් පෙන්නුම් කරනු ලැබුවේ, එම සමාගම් විසින් අනුගමනය කරනු ලැබූ ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි හේතුවෙන්ය. කෙසේ වෙතත් වෛරී කථනයන් ඇතුළත් ලිපි සහ සටහන ගොසිප් අඩවි,  WhatsApp සහ Viber යන යෙදවමු හරහා පෞද්ගලිකව බෙදාගෙන තිබූ බවට අනාවරණ වෙයි. කෙසේ වෙතත් ගෙයින් ගෙට යාම, කුඩා කණ්ඩායම් රැස්වීම්වලදී වෛරී කථනයක් සිදු කර ඇති බවට වාර්තා විය.

මහමැතිවරණයට තරග කළ පක්ෂ අතරින් අපේ ජනබල පක්ෂයේ අපේක්ෂකයින් බහුලව වෛරී කථනයන් සිදු කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒවා මුස්ලිම් සහ දෙමළ ජනතාව ඉලක්ක කරමින් සිදු කළ බවට අදාළ වාර්තාවෙහි සඳහන් කර ඇත. මේ අතර මැතිවරණය සඳහා ඉදිරිපත් වූ කාන්තාවන්ට එරෙහිව ද වෛරී ප්‍රකාශන සිදු කර තිබේ. තම පක්ෂයේ සිටින පිරිමි අපේක්ෂකයින්ගෙන් මෙන්ම වෙනත් දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් අපහසයට පාත්‍ර වූ අවස්ථා බොහෝ තිබේ. දඹුල්ල මහ නගර සභාව තුළ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රී නිලක්ෂි ජයසුන්දර මහත්මියට අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු බවට චෝදනා කරමින් එයින් කාන්තා හිංසනයක් සිදු වූයේ යැයි පවසමින් එම මන්ත්‍රීවරිය හා එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී පිරිස 06 දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළහ. ජූලි මස 07 වැනිදා කුරුණෑගලදී එවක අග්‍රමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාය සහ ඔහුගේ බිරිඳට දරුවන් නොමැතිවීම සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් දැක්වීමක් සිදු කළේය.

ක්‍රියාකාරී දේශපාලනයේ නිතර වන සහ නොවන කාන්තාවන් ඉලක්ක කරගනිමින් මැතිවරණ කාලයේදී මෙවැනි ආකාරයේ වෛරී සහ අපහාසාත්මක ප්‍රකාශන නිකුත් කෙරෙන බව මැතිවරණ නිරීක්ෂකයින් අවධාරණය කරති. කාන්තාවන් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන්නේ ඉතා සීමිත පිරිසකි. ඒ හේතුවෙන් දේශපාලනයට ඔවුන් සහභාගී කරවාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් පවා සකස් කිරීමට සිදුවී ඇත. එවැනි පසුබිමක දේශපාලන නායිකාවන් ඉලක්ක කරගනිමින් මෙලෙස සිදු කරන වෛරී ප්‍රකාශන හේතුවෙන්  ක්‍රියාකාරී දේශපාලනයෙන් කාන්තාවන් ඉවත් වනු දැකගත හැකි වේ. එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් වෛරී ප්‍රකාශනවලට ගොදුරු වන්නන් බවට හඳුනාගෙන ඇති බව නීතිඥ රදිකා ගුණරත්න පැවසීය.

“දේශපාලනයේ නියතු කාන්තාවන් කියන්නේ, වෛරී ප්‍රකාශනවලට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් තියෙන අය කියලා පර්යේෂණවලින් ඔප්පු වෙච්ච කාරණයක්. වෛරී ප්‍රකාශන කිව්වාම සාමාන්‍ය Hate Speech කියන එකෙන් එහාට ගිහිල්ලා, ලිංගභාවය හා සමාජභාවය පදනම් කරගත්ත වෛරී ප්‍රකාශන බවට පත් වෙනවා. ස්ත්‍රීයක් වීම නිසා සහ ගැහැණියක් වීම නිසා Gender සහ ඊට පස්සේ එතැනින් එහාට ගියාම ඒ කාන්තාව අයිති වෙන්නේ නැවතත් සමාජභාවය පැත්තෙන් සුළුතරයකට නම් ආයෙත් ඒ තීව්‍රතාවය වැඩි වෙනවා.

‍දැන් ලංකාවේ පසුගිය මාස කිහිපයේ දැක්ක ප්‍රවණතාවයේ විශේෂත්වයක් තිබුණා, සමාජ මාධ්‍ය තුළින් කම්පනය ඇති කරවන සුළු දෙයක් තමයි, ගොඩාක් අය කියන්න පටන් ගත්තා, විශේෂයෙන්ම මත පළ කරන්නන් කියලා අපි හඳුනගන්න යම් කිසි කොටසක් ඉන්නවා නම් ඔවුන් කියන්න පටන් ගත්තා, ලාල්කාන්ත වගේ ඇමතිවරයෙකුත් කියලා තිබ්බා, අපිටත් ඒ කාලේ ගොඩාක් දේවල් කිව්වා. රනිල්ටත් කිව්වා. නමුත් අපි නම් පොලිසියට මේවා කියන්න ගියෙත් නැහැ. මොකද අපි ගණන් ගන්නෙත් නැහැ කියලා කිව්වා. එතකොට එතැනින් පොඩ්ඩක් ප්‍රශ්න වෙන්න ගත්තා. ගිහිල්ලා පැමිණිලි කරපු දේශපාලනයේ නියත ගැහැනුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා ද.? මොකක්ද එයාලාට තියෙන අපි නැති ප්‍රශ්නය වගේ අදහසක් මතු වුණා. ඔන්න ඔය අසංවේදීකම තමයි ජාතියක් විදිහටත්, රටක් විදිහට අපිට හැමදාමත්  තිබුණේ. ඒ කියන්නේ, බලයෙන් වැඩි අයට ප්‍රශ්නයක් නැහැ.

කාන්තාව සහ ස්ත්‍රිය කියන අනන්‍යත දෙකම සාපේක්ෂව බලයෙන් අඩුයි. ඒ නිසා ඒ ප්‍රශ්නය දැනෙන හැටි අඩුයි. සමාජ මාධ්‍යවල ගිය මතයෙන් කියැවුණේ, හැම තිස්සේම වික්ටීම් කාඩ් එක ඒ කියන්නේ, තමන් වින්දිතයෙක් කියන එක පුන පුනා කියමින් ඒක ඉස්මතු කරන්න එපා. මොකද මේක පිරිමින්ටත් වෙනවා. ඒ නිසා ඒක මත ඉන්න එපා වගේ එකක්. අපේ මේකට කියන්නේ Gender Blind කියලා. සමාජබාවය ගැන අනන්‍යතාවයට ගරු නොකරමින් ඒකට අසංවේදී වෙමින් ඒක සාමාන්‍යකරණය කිරීම. ඒක හරිම ඛේදවාචකයක්.”

මීට පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණවල ප්‍රධාන තේමාව වෙනස් වී තිබිණි. විශේෂයෙන් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ආරක්ෂාව නමැති සාධයක සිය මැතිවරණ වේදිකාවලදී ප්‍රධාන මාතෘකාව බවට පත් කරගත් අතර එහිදී සුළු ජාතීන් ඉලක්ක කරගමින් වෛරී කථන සමාජගත කරනු ලැබීය. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ද්වේශසහගත ප්‍රකාශන නිකුත් කෙරුණු අතර ඒ හා සමාන අයුරින් Facebookහි විවිධ ගිණුම් සහ පිටු හරහා වෛරී ප්‍රකාශන නිකුත් කෙරිණි. විශේෂයෙන් ජනාධිපතිවරණයෙන් අනතුරු තාප්පවල අඳින ලද ඇති චිත්‍ර පවා වෛරී ප්‍රකාශනයට ඇතුළත් කළ හැකිය. පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල ශීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මොහොඩම් ෂාෆි ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ අසත්‍ය චෝදනා මැතිවරණය තවදුරටත් උණුසුම් කිරීමට සමත් වූ අතර ඒ හරහා යම් යම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබගත් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

“2024, ජනාධිපති සහ පාර්ලිමේන්තුවේදී අප දුටු කාරණයක් තමා වෛරී ප්‍රකාශවලට බලපෑම එතරම් නතු වුණේ නැහැ. නමුත් Disinformation සහ Misinformation මෙවර මැතිවරණයේදී බලපෑම් සහගත වුණා. නමුත් අපි සතුටට පත් වෙන්න ඔනේ වෛරී සහගත ප්‍රකාශ යම් ප්‍රමාණයකට අඩු වුණා.

ඇයි එහෙම අඩු වුණේ. ඒකට හේතුව තමා, දේශපාලන අධිකාරිය. ජාතික ජනබලවේගය ප්‍රමුඛ දේශපාලන බලවේගය ජාතිවාදය ප්‍රතික්ෂේප කළා. විශේෂයෙන්ම ඔවුන් ජනාධිපතිවරණයේදී ඔවුන් හිස මතට ගත්තේ නැහැ. 2019දී ගෝඨාභය රාජපක්ෂ ජාතිවාදයට යම් ආකාරයකට පණ පොවපු නිසා තමයි සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ ඇඩ්මින්වරුන් ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූයේ. නමුත් මෙවර ඒ සඳහා අවකාශයක් ලැබුණේ නැහැ.

නමුත් Disinformation සහ Misinformation යම් ප්‍රමාණයක් හුවමාරු වුණා. එය ඔනෑම මැතිවරණයක ලෝකයේ පාලනය කිරීමට නොහැකි තවත් හේතුවක් වුණා. මෙවර වෛරී ප්‍රකාශ අඩුවීමට එක හේතුවක් තමයි සමහර දේශපාලන පක්ෂ සුළඟට හසුවෙච්ච කුරුලු කූඩු සේ කැඩි තිබීම. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පක්ෂයක් විදිහට සවිමත් වෙලා තිබුණා නම් බොහෝදුරට වෛරී ප්‍රකාශ මතු වෙන්නට ඉඩ තිබුණා.

නමුත් එවැනි දේශපාලන පක්ෂ කැඩී බිඳි විසිරී යාම නිසා මෙවර මැතිවරණ දෙකේදී වෛරී ප්‍රකාශ අපිට දක්නට ලැබුණේ නැහැ. ඊටත් අමතරව උදය ගමන්පිළ වැනි අය බලවත් දේශපාලන පක්ෂවලින් නෙවෙයි තරග කළේ. විමල් වීරවංශ වගේ අය තරග කළේ නැහැ. ශ්‍රී ලංකාවේ කලක පටන් ජාතිවාදය ප්‍රවර්ධනය කරන මෙවැනි දේශපාලනඥයන් දේශපාලනය තුළ නොමැති වීමත් වෛරී ප්‍රකාශන අඩු වීමට හේතුවක් වුණා.”

2024 ජනාධිපතිවරණය වනවිට මෙම තත්ත්වය බොහෝ සේ අඩු වී තිබූ ආකාරයක් දැකගත හැකි වූයේ, මෙරට ප්‍රධාන තේමාව ආර්ථික අර්බුදය වීම හේතුවෙන්ය. කෙසේ වෙතත් Hashtag Generation විසින් සිදු කරනු ලැබූ නිරීක්ෂණයකදී වෛරී කථන 100කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණයෙන් පසුව සිදු කර තිබීමත් විශේෂත්වයකි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ජාතික ජනබලවේගයට ඡන්දය නොලැබුණ ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් ද්වේශ කථනයන් සිදු කර ඇත. දෙමළ ප්‍රජාවට එරෙහිව අවස්ථා 40කදීත්, මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අවස්ථා 28කදීත්, මලෛයග ප්‍රජාව හෙවත් කඳුකරයේ ජීවත් වන දෙමළ ප්‍රජාව ඉලක්ක කරගෙන අවස්ථා 13කදීත් සහ කාන්තාවන් ඉලක්ක කරගෙන 17කදීත් වෛරී කථනයක් සමාජ ගත කර තිබේ. මින් වැඩි ප්‍රමාණයක් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සිදු කර තිබීමත් විශේෂත්වයකි. 2024 ජනාධිපතිවරණයේදී ආගම, ලිංගික දිශානතිය, දේශපාලනඥයන්, දේශපාලනයට සම්බන්ධ වූ නළුවන් ඉලක්ක කරගමින් සුළු වශයෙන් වෛරී ප්‍රකාශන නිකුත් වී ඇත.

මේ අතර 2024 මහමැතිවරණ කාල සීමාවේදී මැතිවරණ කොමිෂන් සභාවට වෛරී ප්‍රකාශන 306ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි තිබිණි. එමෙන්ම ජාතිය, ආගම, පෞද්ගලිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව අපහාස කිරීම් 494ක් වාර්තා වී ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වසරේ නොවැම්බර් මස 14 වැනිදා මාධ්‍ය වෙත නිවේදනයක් කරමින් මෙම කරුණු හෙළි කරන ලදී.

මෙවර මැතිවරණ තුළ වෛරී කථනයන් අඩු වූව ද එය ඔනෑම අවස්ථාවක යළිත් බලවත් හැකි බවත් එම නිසා එය පාලනය කිරීමට සුබවාදී වාතාවරණයක් නිර්මාණය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයනය පිළිබඳ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා අවධාරණය කළේය.

“මේක හොඳ ප්‍රවණතාවක් කියලා අපට කියන්නට අමාරුයි. මොකද බලවත් දේශපාලකයන්  දෙන්නෙක් තුන් දෙනෙක් මේකට ප්‍රමුඛත්වය ගත්තොත්, නැවත වතාවක් ජාතිවාදය හිස උසවන්නට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් මේවා මැඬ පැවැත්වීම සඳහා මෙටා හෝ වෙනත් බලවත් සමගාම් තුළින් එන බලපෑම කෙසේ වෙතත් එන සහයෝගය එතරම් සාර්ථක යැයි අපට විශ්වාස කරන්න බැහැ. මැතිවරණ කොමිෂන් සභාව සහ අනෙකුත් සංවිධාන එක්ව යම් උත්සහයක් ගන්නවා එහෙත් එය ප්‍රබල නැහැ. අනාගත මැතිවරණයකදී වුණත් මොකක්ද කළ යුත්තේ? මේකට කළ යුතු හොඳම දේ තමයි පොසිටිව් කවුන්ටර් නැරේටිව් හදන එක. මේවා නෙගටිව් මේවා වැඩක් නැහැ ආදිය තියෙනවා. වෛරී ප්‍රකාශ තියෙනවා. මැතිවරණය අගතියට යනවා කියලා කෑගහලා වැඩක් නැහැ ලංකාවේ. අපි හැකිතාක් යම් වෛරී ප්‍රකාශයක් කළොත් ඒක නෙවෙයි ඇත්ත. මෙතැනට ගිහින් බලන්න කියන්න පුළුවන් වෙබ් සයිට් කිහිපයක් ලංකාවේ තියෙන්න ඔනේ. තොරතුරු මූලාශ්‍ර තියෙන්න ඔනේ. එහෙම අපි නෙගටිව් කවුන්ටර් ඇටැක් කරනවා මිසක් පොසිටිව් කවුන්ටර් නැරටිව්ස් හදන්නේ නැහැ. එම නිසා අපි හැකිතාක් සුබවාදී වාතාවරණය හැදුවොත් තමයි අපිට ගොඩ එන්න පුළුවන්.”

ශ්‍රී ලංකාවේ වෛරී කථනය පාලනය කිරීමට සහ ජාතීන් අතර සමගිය ඇති කරගැනීමේ අරමුණ සහිතව සම්මත කරගත් පනත් තිබුණ ද, එමඟින් අදාළ කාර්යය සිදු කරන්නේ ද යන ගැටලුව මතු වෙයි. ICCPR සහ OSA පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ, මෙම ප්‍රකාශන පාලනය කරමින් ජාතින් අතර සමගිය ඇති කිරීමේ අරමුණින් බව දේශපාලන අධිකාරිය ප්‍රකාශ කරති. කෙසේ වෙතත් මේ දක්වා අදාළ පනත් බහුතර අවස්ථාවලදී භාවිතවී ඇත්තේ, ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය පාලනය කිරීම සඳහාය. ඒ හේතුවෙන් මෙරට තුළ වෛරී ප්‍රකාශන පාලනය කිරීම සඳහා ඇති නීති පද්ධතය සම්බන්ධයෙන් විවේචනාත්මකව බැලිය යුතුව ඇත.

ජෙගන් ගනේෂන් 

Share This