අමෙරිකාවේ ලැව් ගිනි සටන

අමෙරිකාවේ ලැව් ගිනි සටන

ජල හිඟය ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ලැව්ගිනිවලට එරෙහි සටනට “බාධා” කළේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිට තිබෙනවා. ඒ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ජල හිඟය ලැව්ගිනි නිවා දැමීමට බාධා වූ බවට මත පළ වීම හෙතුවෙන්.

නගරය තුළ සහ ඒ අවට ඇති ලැව්ගිනිවලින් විනාශ වූ ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් පවසන්නේ.

ඒ පැසිෆික් පැලිසේඩ්ස් සහ ඊටන් ප්‍රදේශවල කොල්ලකෑම් වාර්තාවී ඇති පසුබිමකයි.

කොල්ලකෑම්වලට සම්බන්ධ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර, ලොස් ඇන්ජලීස් පදිංචිකරුවන්ගේ දුරකථනවලට ඉවත් වීමට සූදානම් වන ලෙස අනතුරු අඟවමින් දෙවන වැරදි අනතුරු ඇඟවීමේ පණිවිඩයක් යැවීම ගැන නිලධාරීන් සමාව අයද ඇති බව සඳහන්.

මේ වන විට ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර, නිවාස සහ අනෙකුත් ව්‍යුහයන් 10,000 කට වඩා විනාශ වී ඇති බවට ගණන් බලා තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශය “යුද ස්ථානයක්” ලෙස විස්තර කර ඇති අතර මරණ සංඛ්‍යාව වැඩි වීමට “බොහෝ විට” ඇති බවට අනතුරු අඟවනවා.

තවත් තද සුළං සඳහා වන පුරෝකථනයක් සමගින් ලැව්ගිනි තවදුරටත් පැතිර යා හැකි බවට බියක් ඇති බවයි කාලගුණ නිලධාරීන රතු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

Share This