කොරියාවට යැවූ අයගෙන් මුදල් ගසා කාලා

කොරියාවට යැවූ අයගෙන් මුදල් ගසා කාලා

දකුණු කොරියාවේ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිලදී ගැනීම හේතුවෙන් එකී ටිකට්පත් සඳහා ශ්‍රමිකයන්ගෙන් රුපියල් මිලියන 122.6ක මුදලක් වැඩියෙන් අය කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක දැක්වෙනවා.

ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් මෙලෙස මුදල් අය කරගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික විදේශීය රැකියා නියෝජිතායතන හතරක් උපයාගෙන ඇති ලාභය රුපියල් මිලියන 94.8 ක් වනවා.ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් රුපියල් මිලියන 27.8ක ලාභයක් උපයාගෙන ඇති බව ද විගණන වාර්තාවේ සඳහන්.

ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ගුවන් ටිකට්පත් මිල දී ගෙන ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇති.

2023 වර්ෂයේ අගෝස්තු මස 8 වන දින දක්වා කාල සීමාව තුළ දකුණු කොරියාව බලා පිටත්ව යන ශ්‍රමිකයන් වෙනුවෙන් මෙකී ගුවන් ටිකට්පත් පෞද්ගලික නියෝජිතායතන හරහා වැඩි මිලට මිල දී ගෙන තිබුණා.

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව එක් ටිකට්පතක් සඳහා 1%ත් – 7% ත් අතර වූ උපරිම ලාභාන්තිකයක් තබාගෙන ගුවන් ටිකට්පත් නිකුත් කිරීම කළ යුතු වනවා.

එහෙත් 2023 වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මිල ගණන්වලට වඩා වැඩි මිල ගණන් යටතේ පෞද්ගලික නියෝජිතායතන හරහා ටිකට්පත් මිල දී ගැනීමට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

මේ හේතුව නිසා සමාගම වෙත පෙර වර්ෂයේ උපයාගෙන තිබූ ලාභය සියයට 5 සිට සියයට 2.5 දක්වා අඩු වී තිබීම හේතුවෙන් සමාගමට රුපියල් මිලියන 27.1ක අලාභයක් වී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විගණනයෙන් හෙළිව ඇති බව සඳහන්.

Share This