ලං.ග.ම රියදුරු පාසලේ ශිෂ්‍යාවක බරපතල අනතුරට ලක්වෙයි

ලං.ග.ම රියදුරු පාසලේ ශිෂ්‍යාවක බරපතල අනතුරට ලක්වෙයි

කතරගම ලං.ග.ම. රියදුරු අභ්‍යාස විද්‍යාලයේ රියදුරු පුහුණුවීම්වල යෙදී සිටි ශිෂ්‍යාවක් එම පුහුණුවීම් අතරතුර බරපතල රිය අනතුරකට ලක්ව තිබෙනවා.

කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු අතින් මෙම රිය අනතුර සිදුව ඇති බවයි කතරගම පොලීසිය සඳහන් කළේ.

මෙම අනතුරට මුහුණ පා ඇත්තේ, රියදුරු පුහුණුව ලබමින් සිටි සූරියආරච්චිගේ මදීසා පියුමිණි නමැති ශිෂ්‍යාවයි.

කොළඹ රථ වාහන මුලස්ථානයට අනුයුක්තව සේවය කරන එම පොලිස් නිලධාරියා වැගන් ආර් වර්ගයේ රථයක් පදවාගෙන පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ලුණුගම්වෙහෙර කතරගම මාර්ගයේ රියදුරු පුහුණුව ලබමින් සිටි අදාළ ශිෂ්‍යාව මාර්ගය වම්පස අයිනෙහි නවතා තිබූ රියදුරු පාසලේ රථයෙන් බැස සිටියදී මෙම වැගන් ආර් වර්ගයේ වාහනය විසින් ඇය අනතුරට ලක්කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඇය වීසි වී ගොස් රියදුරු පාසලේ වාහනයේ වැදි නැවතත් එම වැගන් ආර් රථයටම වැදී පාරේ ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල තුවාල ලබා ඇති එම ශිෂ්‍යාව කතරගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සැකකාර නිලධාරියා අද (25) තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Share This