කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 04ක් වසාදමලා

සේවකයන් පන්දහසකට රැකියා අහිමිවෙලා

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්තශාලා 04ක් වසාදමලා

පසුගිය වසර 02ක කාලය තුළ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ආයතන 04ක් වසා දමා ඇති බව ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ වැඩසටහන් සම්බන්ධීකරණ නිලධාරීනි කාංචනා අබේසේකර මහත්මිය පවසනවා.

ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, ගාල්ලේ හෝටලයක පසුගියදා (20) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඒ අනුව වසාදැමුණ ආයතනවල සේවය කළ පන්දහසකගේ පමණ රැකියා අහිමි වු බවත්, ඔවුන්ට කිසිඳු දීමනාවක් හෝ නොලැබුණු බවත් ඒ මහත්මිය කියා සිටියා.

පවතින ජීවන වියදම අනුව පනස් දහසක වැටුපක් අවශ්‍ය බව පැවසූ ඇය අවධාරණය කළේ අවම මූලික වැටුප ඉහළ නැංවීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි.

මේ එහිදී වැඩිදුටරත් අදහස් දැක්වූ කාංචනා අබේසේකර මහත්මිය,

”කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ආයතන 21ක් තියෙනවා.. එම ආයතනවල පහළොස් දහසක් පමණ සේවය කරනවා.. එම ආයතනවලින් කර්මාන්තශාලා 04ක් පසුගිය අවුරුදු 02 තුළ වැහුණා.. වැහුණ ආයතනවලින් 03ක් ඇඟළුම් කේෂ්ත්‍රයේ ආයතන.. වසාදැමුණ ආයතනවල සේවය කළ පන්දහසකගේ පමණ රැකියා අහිමි වුණා.. එම සේවකයන්ගෙන් පිරිසකට කිසිඳු දීමනාවක් ලබාදීමක් හෝ වෙනත් සාධාරණයක් ඉටු වුණේ නැහැ.. නීතිමය වශයෙන් ලැබිය යුතු දීමනාවත් නොලැබුණ සේවකයන් රැසක් හිටියා.. ඒ වගේම නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා සේවකයන්ට රුපියල් 16,000ක අවම මූලික වැටුපක් තමයි පසුගිය කාලයේ දුන්නේ.. පසුගිය සැප්තැම්බර් මාසයේ ඉදලා රුපියල් 21,000ක් දක්වා එම මූලික වැටුප වැඩි කර තිබෙනවා.. පවතින ආර්ථික තත්ත්වය හමුවේ, ජීවන බර ඉහළ ගිහින්, ආර්ථික ප්‍රශ්න වැඩිවෙලා.. රුපියල් 21,000ක අවම මූලික වැටුප කන්න තියා ලෙවකන්නවත් මදි බව අපි හොඳටම දන්නවා.. නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිත කර්මාන්තශාලා සේවකයන්ට රුපියල් පනස් දහසක අවම වැටුපක් ලබා දෙන ලෙස අපි රජයට යෝජනා කරනවා.. පවතින ජීවන වියදම අනුව පනස් දහසක වැටුපක් අවශ්‍යයි.. සමහරක් කර්මාන්තශාලා සේවක අතීකාල අඩු කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරනවා.. ඒ අනුව පැයක වැඩ, විනාඩි 50න් ගන්නවා.. ඉතුරුවෙන විනාඩි ගණනේ ලාබය ආයතනය ගන්නවා.. මාසික වැටුප රු. 40000ක් පමණ ගෙවන ආයතන කිහිපයක් තියෙනවා.. අපි රජයට යෝජනා කරනවා කර්මාන්තශාලා සේවකයන්ගේ අවම වැටුප පනස් දහසේ සීමාවට ගේන්න කියලා..”

Share This