ඉන්දියානු සිනමාවේ ශ්‍රේෂ්ඨතම තරු සලකුණ – රාජ් කපූර් ජන්ම ශත සංවත්සරය අදයි
“ඉන්දියානු සිනමාවේ ශ්‍රේෂ්ඨතම සංදර්ශකයා” මැයෙන් අවිවාදයෙන් පිළිගැනෙන, රාජ් කපූර්ගේ ජන්ම ශත සංවත්සරය අදට (දෙසැම්බර් 14) යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් කපූර් පවුලේ ප්රමුඛත්වයෙන් සංවිධානයව ඇති සුවිශේෂී වැඩසටහන් කිහිපයකි.
ඉන් එකකි, ඉන්දියානු සිනමාව සඳහා වූ දායකත්වයේ කීර්තිමත් වසර 100 සනිටුහන් කරන ‘රාජ් කපූර් සිනමා උළෙල’
ඊට ආරාධනා කරනුවස්, පසුගියදා කපූර් පවුල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව ද මුණගැසී තිබුණා.
දෙසැම්බර් 13 සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන සිනමා උළෙල සඳහා රාජ් කපූර්ගේ ජනප්‍රිය සිනමාපට 10 ක් ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වූයේ.
ඒ, නගර 40 ක් පුරා සිනමා ශාලා 135 ක් ආවරණය වන පරිද්දෙනි.
1924 වසරේ දෙසැම්බර් 14 වැනිදා උපත ලද රාජ් කපූර්, ප්රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදකයෙකු, නළුවෙකු සහ අධ්යක්ෂවරයකු ලෙස හඳුනාගත හැකියි.
කපූර් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ඉන්දියාවේ පශ්චාත් නිදහස් යුගයේදී යි.
සිනමා රසවතුන්ට අනුව, රාජ් කපූර්ගේ මුල්කාලීන බොහෝමයක් සිනමා කෘතීන් සමාජවාදී ස්වරූපයකින් යුත් ඒවා වේ.
එකල වැසියන්ගේ මනෝභාවය සහ අපේක්ෂාවන් පිළිබිඹු කෙරෙන එම සිනමාපට විචාරකයින් අතර වඩාත් කතාබහට ලක්වුණා කිවහොත් නිවැරදියි.
“කපූර් ඉන්දියානු සමාජවාදයට, ප්‍රේම සම්බන්ධය, ලිංගිකත්වය, ගීතය සහ ආත්මය ගෙන ආවේය” මැයෙන් ඉතිහාසඥ සුනිල් කිල්නානි කළ ප්‍රකාශයෙන් එය වඩාත් පැහැදිලි වනු ඇති.
එනිසාම ඔහුගේ කල්පවත්නා උරුමයට ගෞරව කරනුවස්, අද දිනයේදී ඉන්දියාව පුරාම සැමරුම් පැවැත්වීම පුදුමයට කරුණක් නොවේ.
රාජ් කපූර්ගේ දෙමාපියන් වන්නේ ප්‍රිත්විරාජ් කපූර් සහ රම්සර්නි කපූර් යුවළයි.
ඔහු ‘ශ්‍රිෂ්ටි නාත් කපූර්’ ලෙස උපත ලබා පසුව ‘රන්බීර් රාජ් කපූර්’ මැයෙන් ද ප්‍රකට විය.
ඔහු විවාහ වන්නේ ක්‍රිෂ්ණා මල්හෝත්‍රා සමඟයි.
ඉන්දීය සිනමාවේ සුවිශේෂීම සලකුණු රැසක් ‘කපූර් පවුල’ සතුයි.
එය සැකෙවින් මෙසේය..
රාජ් කපූර්ගේ බාල සොයුරන් වන්නේ ෂශී කපූර් සහ ෂම්මි කපූර් දෙදෙනායි. ඔහුගේ සොහොයුරිය උර්මිලා සියාල් වේ.
රාජ් සහ ක්‍රිෂ්ණා කපූර්ට දරුවන් පස් දෙනෙක් වන අතර ඔවුන් රන්දීර් කපූර්, රිෂි කපූර් ,රජීව් කපූර්, රිතු නන්දා සහ රීමා ජේන් නම් වේ.
රන්දීර් විවාහ වූයේ හිටපු නිළි බබිතා සමඟ වන අතර ඔහු නිළියන් වන කරිෂ්මා කපූර් සහ කරීනා කපූර්ගේ පියා යි.
රිෂිගේ දරුවන් දෙදෙනා දියණිය රිද්දිමා කපූර් සහ පුත් රන්බීර් කපූර් ය.
රාජ් කපූර්ගේ වැඩිමල් දියණිය වන රිතු නන්දා විවාහ වූයේ කර්මාන්තකරුවෙකු වන රාජන් නන්දා සමඟ වන අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙකි.
ඉන් පුත් නිකිල් නන්දා විවාහ වූයේ අමිතාබ් බච්චන් සහ ජයා බච්චන්ගේ දියණිය ශ්වේතා සමඟයි.
රාජ් කපූර්ගේ බාල දියණිය, රීමා ජේන් විවාහ වූයේ බැංකුකරුවෙකු වන මනෝජ් ජේන් සමඟයි.
රාජ් කපූර්ගේ සිනමා ගමන ඇරඹෙන්නේ, nquilab (1935) චිත්‍රපටයේ ළමා නළුවෙකු ලෙසයි. එවකට ඔහු වයස අවුරුදු දහයක කුඩා දරුවෙකි.
අනතුරුව ඔහු වඩාත් කතාබහට ලක්වන්නේ 1947 දී ‘Neel Kamal’ සිනමාපටය තුළිනි.
මධුබාලා සහ රාජ් කපූර් රංගනයෙන් දායක වූ එය කිඩාර් ෂර්මාගේ අධ්‍යක්ෂණයකි.
රාජ් කපූර් නාමය කෙතරම් සුවිශේෂී ද කිවහොත්, 2005 දී ටයිම්ස් සඟරාව විසින් “ලෝක සිනමාවේ සර්වකාලීන විශිෂ්ටතම රංගනයන් දහයෙන් එකක්” ලෙස අවරා හි (Awaara) ඔහුගේ රංගනය ශ්‍රේණිගත කර තිබේ.
ඔහුගේ චිත්‍රපට ආසියාව, මැදපෙරදිග, කැරිබියන්, අප්‍රිකාව සහ සෝවියට් සංගමයේ සමහර කොටස්වල ගෝලීය වාණිජමය සාර්ථකත්වයන් අත්කරගත් ඒවා වීම විශේෂයි.
සිනමා කර්මාන්තය තුළ ‘තිරයේ තරුවක්’ වීමට ප්‍රථම ‘තිරය පිටුපස ශිල්ප දැක්වූවෙක්’ මැයෙන් රාජ් කපූර් ප්රකටය.
ඒ ඔහු චිත්‍රපට නිෂ්පාදක කිඩාර් ෂර්මාට සහාය වීම, පියාගේ රඟහලේ කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කිරීම සහ කුඩා කුඩා චරිතවලට පෙනී සිටීම යන කාරණා තුළිනි.
රාජ් කපූර් 1948 දී ‘RK ෆිල්ම්ස්’ මැයෙන් සිය අතිවිශිෂ්ට චිත්‍රාගාරය ආරම්භ කිරීම සුවිශේෂී හැරවුමක් ලෙස දැක්විය හැකිය.
ඒ අනුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහුගේ නැඟීම සිදුවන්නේ, Aag (1948) චිත්‍රපටයෙනි.
එමෙන්ම Barsaat (1949), Awaara (1951), Shree 420 (1955) සහ Sangam (1964) වැනි සිනමාපට තුළ නළුවෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස ඔහුගේ භූමිකාවන් හඳුනාගත හැකිය.
රාජ් කපූර්ගේ අනෙකුත් ජනප්‍රිය සිනමා කෘති අතරට Mera Naam Joker (1970), Bobby (1973), Satyam Shivam Sundaram (1978), සහ Ram Teri Ganga Maili (1985) ඇතුළත් වේ.
“ෂෝ-මෑන්” ”ඉන්දියානු සිනමාවේ චාලි චැප්ලින්” යන අනවර්ථ නාමයන්ගෙන් ප්‍රචලිත රාජ් කපූර් ඉන්දියාවේ ජාතික චිත්‍රපට සම්මාන තුනක් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන 11 ක් ඇතුළුව බහුවිධ ඇගයීම්වලට පාත්‍ර වූ කලාකරුවෙකි.
63 හැවිරිදි වියේ පසුවූ මෙම මහා සිනමාවේදියා ඉන්දියානු සිනමාවම අඳුරු කරමින් අවසන් ගමන් යන්නේ 1988 වසරේදීයි.
ඒ ඔහු කලක් තිස්සේ පීඩාවිඳි ඇදුම රෝගයට සම්බන්ධ සංකූලතා හේතුවෙන් බව සඳහන්.
රාජ් කපූර් නම් මහා සිනමා වෘක්ෂය, නවදිල්ලියේ පැවති ‘Dadasaheb Phalke’ සම්මානය ලබා ගැනීමට නියමිතව තිබූ උත්සවයේදී ඇද වැටීම, අදටත් සිනමා රසවතුන්ගේ හද කම්පා කරවන සිදුවීමකි.
එලෙස ඇද වැටුණු ඔහු ප්‍රතිකාර සඳහා නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ගෙන ගිය බව සඳහන්.
අනතුරුව මාසයක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලද ඔහු, මිය යන විටත් චිත්‍රපටයක කටයුතු කරමින් සිටීම විශේෂයි.
ඉන්දු-පකිස්තානය පදනම් කරගත් ආදර කතාවක් වූ එය පසුව ඔහුගේ පුතුන් වන රන්දීර් කපූර් සහ රිෂි කපූර් විසින් නිම කර 1991 දී නිකුත් කරන ලදී.
භාරත සිනමාවේ ත්‍රි මූර්තිය ලෙස ප්‍රකට දිලිප් කුමාර්, දේව් ආනන්ද්, රාජ් කපූර් නම් අග්‍රගණ්‍ය රංගවේදීන් තිදෙනාගෙන් මුලින්ම ජීවන වේදිකාවෙන් බැස ගියේ ද රාජ් කපූර් ය.
රාජ් කපූර් සම්බන්ධ තවත් කතාවකි,
රාජ් කපූර්ට නාගිස් සමඟ පෙම් හුටපටයක් තිබිණ.
විවාහකයකු වූ රාජ් කපූර්ගේ මෙම පෙම ඉන්දීය සිනමාව තුළ වඩාත් ප්‍රකට ය.
කෙසේ නමුත් පසුකාලීනව සුනිල් දත් සමඟ නාගිස් විවාහ වෙයි.
එහි ශෝකය සංසිඳුවා ගනුවස් රාජ්, කාලයක් පුරාවට මධුවිතින් පදම් වුණු බවත් ප්‍රකට රහසකි.
සටහන : නඳුනි ආරියවංශ
තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්
ඡායාරූප : RK Films සහ Film Heritage Foundation