පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය දීර්ඝ කෙරේ

පරාටේ නීතිය අත්හිටුවීමේ කාලය දීර්ඝ කෙරේ

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 දින දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා සිටින දුෂ්කරතාවන් සලකා බලා මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කිරීම 2024.12.15 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළා.

දේපළ වෙන්දේසි කිරීමට ඉඩදීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වාදීම මගින් දෙපාර්ශ්වයටම සාධාරණය ඉෂ්ට කිරීම සුදුසු බව රජය නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව 2025.03.31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Share This