බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී මුදල් ලබාගත්, සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ
නුගේගොඩ ප්රදේශයේ පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී එම ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 40ක් වංචා සහගතව ලබාගත් බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (09) ලබාදුන් නියෝගයකට අනුවයි.
නුගේගොඩ තිලකරත්න මාවත ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණේ, කොලොන්නාව ප්රදේශයේ පදිංචි මොහොමඩ් නිසාර් මොහොමඩ් ෂපාම් නැමැති පුද්ගලයෙකුයි.
පැමිණිලිකාර පුද්ගලයා ඉඩමක් විකිණීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළකර තිබූ බවත්, සැකකාර පුද්ගලයා එය ලබාගන්නා මුවාවෙන් පැමිණිලිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගෙන ඇති බවත්, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් අධිකරණය හමුවේ ප්රකාශ කර තිබෙනවා.
පැමිණිකාර පුද්ගලයාගේ ගිණුම් අංක ලබාගත් සැකකාර පුද්ගලයා පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ පැමිණිකරුගේ බැංකු ගිණුමට ඇතුල්වී එහි තිබූ රුපියල් ලක්ෂ හතළිහක් වංචා සහගතව ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇති බව සඳහන්.
සැකකාර පුද්ගලයා ඔහුට හිතවත් තවත් පිරිසක් සමග එක්ව මෙම වංචා සහගත සිද්ධිය සිදුකර ඇති බවත්, එලෙස වංචා සහගතව ලබාගත් මුදල් සැකකාර පුද්ගලයාගේ බැංකු ගිණුම් පහකට බැර කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා නියෝග කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
ඒ අනුව සැකකරු එළඹෙන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.